Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් දකුණු කොරියාවට
ආසියානු සත් සාමාජික රග්බි

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් දකුණු කොරියාවට

editorial - 2022 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ගුවන් ප්‍රවේශපත් සඳහා ඊයේ (8 වැනිදා) රාත්‍රියේ රුපියල් කෝටි එකහමාරක මුදලක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කිරීමත් සමග ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් රග්බි කණ්ඩායම්වලට ඊයේ (8 වැනිදා) ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වීමේ අරමුණින් දකුණු කොරියාව බලා පිටත්ව යෑමට හැකි විය.

අද පෙරවරුවේ රීඩ් මාවත ක්‍රීඩා සංකීරණයේදී නිල ඡායාරූප සඳහා පෙනී සිටීමෙන් අනතුරුව පස්වරුවේ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම්, නිලධාරීන් සමග එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබාහි හරහා දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

අවසන් මොහොත දක්වාම තරගාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නිලධාරීන්ගේ ගුවන් ප්‍රවේශපත් සඳහා දැරීමට එකඟ වූ මුදල රග්බි සංගමය වෙත ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන නොතිබීම හේතුවෙන් ඊයේ පස්වරුව වන තෙක්ම අදාල තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අවිනිෂ්ත තත්ත්වයක පැවතිණ.

කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මැදිහත් වීම මත රග්බි සංගමයට එම මුදල ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා කණ්ඩායම් නියමිත වේලාවට දකුණු කොරියාව බලා පිටත්කර යැවීමටත් හැකි වූ බව රග්බි සංගමයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම්වල සෙසු වියදම් සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන නිපෝන් පේන්ට් සමාගම සහ වෙබෙක්ස්ප්‍රේ අනුග්‍රහය දක්වන බවද එහිදී ඉල්ලියාස් මහතා සඳහන් කළේය.

පිරිමි සහ කාන්තා කණ්ඩායම් 8 බැගින් සහභාගි වන මෙම තරගාවලිය දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවරදී එළබෙන සෙනසුරාදා (12 වැනිදා) සහ ඉරිදා (13 වැනිදා) පැවැත්වේ. ඊට සභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වීමට නියමිතය.

ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේ තරග වදින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක නිල්ෆර් ඊබ්‍රහීම් මහතා කටයුතු කරන අතර දුලානි පල්ලෙකොණ්ඩගේ නායකත්වය දරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක සාලිය කුමාර මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා රග්බි සංගමයට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පනවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා සහභාගිවන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේය. එහෙත් එම තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට තායිලන්තයේදී පැවැති තරගාවලියේ පළමු අදියර සඳහා සහභාගි වීමට නොහැකි විය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ආසියානු රග්බි සම්මේනයේ සභාපති කයිස් අල් ධලායි මහතා අතර ඩුබායිහිදී පැවැති හමුවක ප්‍රතිඵයක් ලෙස ශ්‍රී ලංකාවට ඔලිම්පික් කමිටු ධජය යටතේ දෙවැනි අදියරේ සිට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව උදා විය.

 


ශ්‍රී ලංකා පිරිමි සංචිතය
ශ්‍රීනාත් සූර්යබණ්ඩාර (නායක), අනුජ හෙට්ටිආරච්චි, චතුර සෙනෙවිරත්න, ආකාෂ් මදුසංක, අදීෂ වීරතුංග, මිතුම් හපුගොඩ, නයිජල් රත්වත්තේ, තරින්ද රත්වත්තේ, කවිඳු පෙරේරා, රමේෂ් ප්‍රනාන්දු, දර්ෂන දාබරේ, රිචඩ් ධර්මපාල, මොහොමඩ් නිල්ෆර් (පුහුණුකරු) සහ ඒ.එස්.කේ. පිටිගල (කලමණාකරු)

 

ශ්‍රී ලංකා කාන්තා සංචිතය
දුලානි පල්ලෙකොණ්ඩගේ (නායිකා), ජයන්ති කුමාරි, ආර්.එස්.එච්. කුමාරි, දිලිනි කාංචනා, ශානිකා මධුමාලි, චාරුනී තීක්ෂණා, අයේෂා පෙරේරා, උමයංගනා තත්ත්සරණි, පොල්හේවගේ දිලානි, චමෝද්‍යා මධුමාලි, රන්දිකා කුමුදුමාලි, තනූජා වීරක්කොඩි, සාලිය කුමාර (පුහුණුකරු) සහ සමන්ත නානායක්කාර (කලමණාකරු)

 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් දකුණු කොරියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.