Last Update  :  2025-12-12 12:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වයස 19 න් පහළ ආසියානු කුසලාන ඇරඹෙයි

වයස 19 න් පහළ ආසියානු කුසලාන ඇරඹෙයි

editorial - 2025 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඇෆ්ඝනිස්තානයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (12 වැනිදා) ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මෙම මස 21 වැනිදා දක්වා නිමාවට පත්වීමට නියමිතය. 
 
මෙම තරගාවලියේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම, මූලික වටයේදී නේපාලයට එරෙහිව හෙට (13 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත. ශ්‍රී ලංකාව සහභාගි වන සෙසු තරග දෙක ඇෆ්ඝනිස්තානයට එරෙහිව 15 වැනිදාද, බංග්ලාදේශයට එරෙහිව 17 වැනිදාද පැවැත්වෙනු ඇත. 
 
මූලික වටය අවසානයේ එම කාණ්ඩයේ පළමු හෝ දෙවැනි ස්ථානයට පත්වුව හොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාවනු ඇත. ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටියි. 

‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වුව හොත් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියාට එරෙහිවද, ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වුව හොත් ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියාට එරෙහිවද ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේදී තරග වැදීමට සිදුවනු ඇත. තරගාවලියේ පූර්ව තරග 19 වැනිදාද, අවසන් මහ තරගය 21 වැනිදාද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

පළමු වරට 1989 වසරේදී ආරම්භ කර ඇති මෙම වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දක්වා අවස්ථා 11 කදී පවත්වා ඇති අතර ඉන් අවස්ථා 8 කදී ශූරයන් බවට පත්වීමට ඉන්දියාව සමත්ව ඇත. බංග්ලාදේශය අවස්ථා 2 කදීද, පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය එක් අවස්ථාවකදී බැගින්ද තරගාවලියේ ශූරතාවට හිමිකම් කියා ඇත.
  
එක් අවස්ථාවකදී හෝ මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්ව නැතිමුත්, අවස්ථා 5 කදී (1989, 2003, 2016, 2018 සහ 2021) මෙම තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත්ව ඇත. පාකිස්තානය දෙවරක්ද, ඉන්දියාව, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්වරක් බැගින්ද අනු ශූරතාවන් හිමිකරගෙන තිබේ.  

වයස 19 න් පහළ ආසියානු කුසලාන ඉතිහාසයේ ශූරතාව සහ අනු ශූරතාව සඳහා පිරිනැමෙන වැඩිම ත්‍යාග මුදල මෙම තරගාවලියේදී පිරිනැමීමට ආසියානු ක්‍රිකට් සභාව සූදානමින් සිටියි. ඒ අනුව මෙවර තරගාවලියේ ශූරයන් සඳහා ශූරතා කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 ක්ද, අනු ශූරයන් සඳහා අනු ශූරතා කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 1.5 ක්ද පිරිනැමෙනු ඇත. 


අදහස් (0)

වයස 19 න් පහළ ආසියානු කුසලාන ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.