
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ප්‍රේම පින්නවල මහතා සිය දිවිසැරිය නිමාකර තිබේ. මිය යන විට 88 වැනි වියේ පසුවූ පින්නවල මහතා 1973 සිටම ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමයේ (වර්තමානයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා) විවිධ තනතුරු හොබවමින් සිට 2023 දී විශ්‍රාම ගත්තේය. පින්නවල මහතා 1983 සිට 1998 දක්වා වසර 13 ක් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම්වරයා ලෙසින් ද කටයුතු කළේය.
වසර 50 ක කාලයක් පුරා පින්නවල මහතාගෙන් මලල ක්‍රීඩාවට සිදුවූ සේවය අගයමින්, අන්තර්ජාතික මලල ක්‍රීඩා (සම්මේලනය), පසුගිය වසරේදී පින්නවල මහතාට විශේෂ සම්මානයක් ප්‍රදානය කළේය. එවකට සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති, මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා විසින් 2025 ජාතික මලල ශූරතාවලියේ සමාප්ත උත්සවයේදී එම සම්මානය පින්නවල මහතාට පිරිනමන ලදි.
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා නිලධාරියකු අන්තර්ජාතික මලල ක්‍රීඩා (සම්මේලනයේ) සම්භාවනාවට පාත්‍ර වූ පළමු සහ එකම අවස්ථාවද එයයි. පින්නවල මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයාව සිටි සමයේදී ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා වූයේ රෝයි ද සිල්වා මහතාය. රෝයි ද සිල්වා මහතා එකල ආසියානු ඔලිම්පික් සභාවේ උප සභාපතිවරයකු ද විය.
ලෝකයේ සිව් කොනේම සිටි මලල ක්‍රීඩා නිලධාරීන් මෙන්ම විවිධ රටවල ඔලිම්පික් කමිටු නිලධාරීන් සමගද ඉතාමත් කිට්ටු සමබන්ධතා පැවැත්වූ පින්නවල මහතාට එක දුරකතන ඇමතුමකින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේවල් කරගැනීමේ හැකියාවක් තිබිණ.
1960 දශකය අග භාගයේදී කමිටු නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයට එක්වූ පින්නවල මහතා 1978 දී එහි උප සභාපති ධූරයකට පත්ව, 1980 දක්වා එම තනතුර හෙබවීය. 1983 දී ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධූරයට පත්විය.
1983 දී දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනය පිහිටුවීමේදී පුරෝගාමී මෙහෙවරක් කළ පින්නවල මහතා 1984 නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති මංගල දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහාත් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ අයෙකි. 1999 සිට වසර 2022 දක්වා වසර 23 ක කාලය අතුරින් වසර 19 කදීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (සංගමයේ) ලේකම් ධූරය හෙබවූ පින්නවල මහතා, වසර 2007 සිට 2019 දක්වා ආසියානු මලල ක්‍රීඩා (සම්මේලනයේ) කමිටු සාමාජිකයකු ලෙසින් ද කටයුතු කළේය.
1991 දී සහ 2006 දී ශ්‍රී ලංකාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ පින්නවල මහතා 1991 දී ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් වරයා ලෙසත්, 2006 දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරමින් සිටියේය.
1984 සෝල් ඔලිම්පික් උළෙලේ සිට, 2016 රියෝ ඔලිම්පික් උළෙල දක්වා පැවැති සෑම ඔලිම්පික් උළෙලකටම නිලධාරියකු නැතහොත් විශේෂ ආරාධිතයකු වශයෙන් පින්නවල මහතා සහභාගි වී තිබේ.
කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි ප්‍රේමදාස පින්නවල පාසල් වියේදී මලල ක්‍රීඩකයකු වීමට අමතරව, බොක්සිං ක්‍රීඩකයකු මෙන්ම පාපන්දු ක්‍රීඩකයකුද විය. විශ්ව විද්‍යාලයෙන් නික්මීමෙන් පසුව ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවට සම්බන්ධ වූ හෙතෙම, පසුව ජනසතු සේවා මලල ක්‍රීඩා සංගමයේ සහ ජනසතු සේවා හොකී සංගමයේ දීර්ඝ කාලයක් තනතුරු හෙබවීය.
පින්නවල මතාගේ බිරිඳ වන, ප්‍රවීන සිත්තරාවියක මෙන්ම ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ජයනි පින්නවල මහත්මිය ද ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියකි. පින්නවල මහතා දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි.
ප්‍රේම පින්නවල මහතාගේ දේහය අද (13 වැනිදා) පස්වරු 1.00 සිට බොරැල්ල ජයරත්න රෙසපෙක්ට් මල්ශාලාවේ තැන්පත් කර තිබේ. ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (14 වැනිදා) පස්වරු 3.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
විශේෂ ස්තුතිය - ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම තොරතුරු ලේඛණගත කරන්නා ද වූ කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සමන් කුමාර ගුණවර්ධන මහතාට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.