
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික ක්රිකට් සභවේ නියෝජ්ය සභාපතිවරයකු වන ඉම්රාන් කවාජා මහතා සහ ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා යන මහත්වරුන් දෙදෙනාත්, ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ නිලධාරීන් අතරත් සාකච්ඡාවක් ශ්රී ලංකා ක්රිකට් මූලස්ථානයේදී ඊයේ (16 වැනිදා) පැවැත්විණ. මෙම සාකච්ඡාවට ඇතුළත් කරුණු සම්බන්ධයෙන් කළ විමසීමකදී ක්රිකට් අතුරු කමිටු නිලධාරීන් කියා සිටියේ එය ප්රතිඵලදායක සාකච්ඡාවක් වූ බවයි.
දේවජිත් සයිකියා මහතා ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම්වරයා වන නමුත් ඔහු අන්තර්ජාතික ක්රිකට් සභාවේදී ඉන්දියාව නියෝජනය කරන අධ්යක්ෂවරයකු ද වෙයි. අන්තර්ජාතික ක්රිකට් සභාවේ වත්මන් සභාපතිවරයා වන්නේ ඉන්දීය ජාතික ජේ ෂා මහතාය.
“ක්රිකට් අතුරු (පරිවර්තන) කමිටුවක් පත්කිරීමේ හොඳ සහ නරක ගැන ඉතාම සුහදව සාකච්ඡා කෙරුණා. ඒත් ඒ කරුණු කාරණා මොන මොනවාද කියලා වෙන් වෙන් වශයෙන් කියන්න පුළුවන් කමක් නෑ” යයි ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටු නිලධාරියෙක් පැවසීය.
සාකච්ඡාවට අඩංගු වූ කරුණු මොනවාද යන්න හෙළිදරව් නොකළ නමුත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ගමන් ගන්නා දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ෂම්මි සිල්වා මහතා ඇතුළු ක්රිකට් විධායක කමිටුව පසුගිය 29 වැනිදා ඉල්ලා අස්වීම හේතුවෙන් සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් ක්රිකට් පරිවර්තන කමිටුවක් පත් කිරීමට ක්රීඩා ඇමතිවරයා පියවර ගත්තේය.
ජාතික ක්රීඩා පනත අනුව ඕනෑම ජාතික ක්රීඩා සංගමයක් විසුරුවා හැර ඒ වෙනුවෙන් අතුරු කමිටුවක් හෝ නිසි බලධාරියකු පත්කිරීමේ බලතල ක්රීඩා ඇමතිවරයාට ඇතත්, ක්රීඩා ඇමතිවරයා එසේ නොකළේය. එහෙත් ෂම්මි සිල්වා මහතා ඉල්ලා අස්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතගේ ඉල්ලීමක් අනුව බවත්, සිය සභාපතිවරයා ඉල්ලා අස්වීමට පෙරම, ජනාධිපතිවරයාගේ නිර්දේශය අනුව වත්මන් ක්රිකට් අතුරු කමිටුව සඳහා සභාපතිවරයකු තෝරාගෙන සිටි බවත් ක්රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයෝ කියති.
නැවත සියරට බලා පිටත්ව යාමට පෙර, ඉම්රාන් කවාජා සහ දේවජිත් සාකියා යන මහත්වරුන් සහ ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතරද සාකච්ඡාවක් අද (17 වැනිදා) පැවැත්විණ.
2023 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවත් එවකට සිටි ක්රීඩා ඇමතිවරයා විසින් ක්රිකට් අතුරු කමිටුවක් පත්කරන ලද නමුත් එම අතුරු කමිටුව පිළි නොගත් අන්තර්ජාතික ක්රිකට් සභාව, 2023 නොවැම්බර් 10 වැනිදා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අන්තර්ජාතික සාමාජිකත්වය තහනම් කළේය. එහෙත් මේ වතාවේදී රජයේ මැදිහත්වීමෙන් ක්රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්රිකට් සභාව කිසිදු ප්රකාශයක් කර නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.