Last Update  :  2026-05-16 12:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 10000 පිරිමි ඉසව්වට ක්‍රීඩිකාවක් දිවීම ගැන මත ගැටුමක්

මීටර 10000 පිරිමි ඉසව්වට ක්‍රීඩිකාවක් දිවීම ගැන මත ගැටුමක්

editorial - 2026 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා දෙවැනි තේරීම් තරගයේ ඊයේ (15) පැවැති මීටර 10000 (පිරිමි) ඉසව්වට විශේෂ අවස්ථාවක් සළසමින් ක්‍රීඩිකාවක් සහභාගි කර ගැනීම පිළිබදව මත ගැටුමක් ඇතිවී තිබේ.ඊයේ එහිදී පැවැති මීටර 10000 (පිරිමි) ඉසව්වට සහභාගි කර ඇත්තේ දිගු දුර ධාවන ජාතික ශූරියක් වන රසාරා විජේසූරියයි.

එළඹෙන (2026) ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේෂ ලබා ගැනීමේ උත්සහයක් ලෙස වඩාත් හොද නිමි කාලයක් වාර්තා කිරීමේ අභිප්‍රායෙන් ඇය මෙලෙස මීටර 10000  (පිරිමි) ඉසව්වට සහභාගිවී තිබේ.

කෙසේවූවත් ඊයේම පසුව පැවැති මීටර 10000 (කාන්තා) ඉසව්වේ නිල ප්‍රතිපලයට රසාරා පිරිමි ඉසව්වේ දිව යමින් ලබා ගත් තරග නිමි කාලය ඇතුළත් කරමින් ඇය කාන්තා ඉසව්වේ පළමු ස්ථානයට නිර්දේශ කිරීමට තරග සංවිධායකයන් ගත් බව කියන තීරණය මෙම මත ගැටුමට හේතුවී තිබේ.

ඒ පිළිබදව විරෝධතා ඉදිරිපත් කරන මීටර 10000 කාන්තා ඉසව්වට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් පිරිසකගේ පුහුණුකරුවන් පවසන්නේ මෙසේ පිරිමි ඉසව්වට ක්‍රීඩිකාවන්ද සහභාගි කර ගනිමින් ඉසව්ව පැවැත්වීමට මලල ක්‍රීඩා තරග නීතී සංග්‍රාහයේ ඉඩ සළසා තිබුණත්  එවැනි අවස්ථාවකදී පිරිමි හා කාන්තා ඉසව්ව වෙන වෙනම පැවැත්වීම තරග නීතියට පටහැණි බවයි.

එහෙත් රසාරා විජ්සූරියගේ පුහුණුකරු පාර්ශවය පවසන්නේ මීට පෙරත් මීටර 10000 (පිරිමි) ඉසව්ව සදහා විශේෂ අවස්ථා සළසා ගනිමින් ක්‍රීඩිකාවන් මේ ආකාරයෙන් දේශීය මලල ක්‍රීඩා තරගාවලි සදහා සහභාගිවී තිබෙන බැවින් එහි විශේෂයක් කතා කළ නොහැකි බවයි.

කෙසේවූවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තරග සංවිධායකයන්  කුමන තීරණයකට පැමිණියත් තමන් ඒ පිළිබදව අදහස් නොදක්වන බව පැවැසූ ඔවුන් මේ ක්‍රීඩිකාවගේ එකම අභිපාය වූයේ සිය ඉසව්වේ තරග නිමි කාලය වඩාත් සාර්ථක කර ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලට ප්‍රවේශය ලබා ගැනීම පමණක් බැවින් එහි වරදක් දැකීම කනගාටුවට කාරණයක් බවත් පැවැසීය.

දියගම ක්‍රීඩාංගණයේදී ඊයේ (15) දෙවැනි දිනයට පැවැති ජාතික මලල ක්‍රීඩා දෙවැනි තේරීම් තරගාවලියේ පසුව පැවැති මීටර 10000 (කාන්තා) ඉසව්වේ නිල ප්‍රතිපලයට එහි පිරිමි ඉසව්වේ ප්‍රතිපල හා සංසන්දනය කිරීමට ගත් තීරණයත් එහිදී මලල ක්‍රීඩා තරග නීතී උල්ලංඝණය කිරීමක් වන බව ඒ පිළිබදව විරෝධතා ඉදිරිපත් කරන්නෝ වැඩි දුරටත් පවසති.

මෙම වසරට (2026) නියමිත 22 වැනි ආසියානු ක්‍රීඩා උළෙල (ජපානය - සැප්තැම්බරයේදී) හා 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (ස්කොට්ලන්තය - ජූලි මාසයේදී ) ඉලක්ක කරමින් ජාතික මලල ක්‍රීඩා පුහුණු සංචිත යාවත්කාළීන කිරීම සදහා මෙම දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පැවැත්වේ.

කෙසේවූවත් බදාදා (13) ආරම්භ වූ මෙම තේරීම් තරගාවලිය ඊයේ (16) අවසන් වීමට නියමිතව තිබුණත් එම දින කීපයේදීම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තවත් දිනක් දක්වා දීර්ඝ කරමින් එය අදත් (16) පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.


අදහස් (0)

මීටර 10000 පිරිමි ඉසව්වට ක්‍රීඩිකාවක් දිවීම ගැන මත ගැටුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.