Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු පන්දු යවන්නන් අතර පෙරමුණට

වනිඳු පන්දු යවන්නන් අතර පෙරමුණට

editorial - 2022 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 15 ක් දවාගනිමින්, මේ දක්වා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වී සිටින, පා දඟ පන්දු යවන ක්‍රීඩක, වනිඳු හසරංග අන්තරජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව පළමු ස්ථානය ලබාගෙන තිබේ. ඒ සඳහා වනිඳුට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 704 කි.

තරග 8 කදී ලකුණු 199 ක් දෙමින් කඩුලු 15 ක් දවාගත් වනිඳුගේ කඩුල්ල් දවාගැනීමේ සාමාන්‍යය 13.27 කි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගිය සෙනසුරාදා පැවැති තරගයේදී ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගත් වනිඳු හසරංග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර වනිඳුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන්නේ නෙදර්ලන්ත කණ්ඩායමේ බස් ඩි‘ලීඩි (කඩුලු 13 යි) වුවද ඔහුට එතැනින් ඔබ්බට යා නොහැක්කේ නෙදර්ලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවී තිබෙන බැවිනි.
 
එංගලන්තයේ වමත් වේග පන්දු යවන්නා වන සෑම් කරන්, අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගත් කණ්ඩායම් අතරේ සිටින පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින ක්‍රීඩකයාය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කරන් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 10 ක් වූවත්, කරන් සහ හසරංග අතර පරතරය කඩුලු 5 කි.

පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වූයේ වනිඳු හසරංගය. පසුගිය වසරේ තරග 8 කදී වනිඳු විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 16 කි.

මේ අතර විස්සයි-20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පළමු වතාවට හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට ඇතුළත්ව සිටී. 2020 න් පසුව ශ්‍රී ලංකාවේ පිතිකරුවකු හොඳම විස්සයි-20 අන්තර්ජාතික පිතිකරුවන් 10 දෙනා අතරට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙයයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉනිම 7 කදී ලකුණු 214 ක් ලබාගත් පැතුම් නිස්සංකගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 30.57 කි.

විස්සයි-20 ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම් අනුව ඉන්දීයාවේ සූර්යකුමාර් යාදව් පිතිකරුවන් අතර පළමුවැන්නා ලෙසත්, බංග්ලාදේශයේ සකිබ් අල් හසන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු වැන්නා ලෙසත් පත්ව සිටී. ඒ අනුව විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන් ශ්‍රේණිගතකිරීම් අනුව ඉදිරියෙන් සිටින තිදෙනාම දකුණු ආසියාතිකයෝ වෙති.

 


අදහස් (0)

වනිඳු පන්දු යවන්නන් අතර පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.