(ශානුක අරවින්ද)
කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල් අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්රාමය’ වාර්ෂික මහ ක්රිකට් තරගය සමගාමීව, කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී ‘ආචාර්ය පී. ද එස්. කුලරත්න’ කුසලාන වෙනුවෙන් පැවැති 49 වැනි එක්දින තරගයෙන් ලකුණු 53 ක පහසු ජයක් වාර්තා කිරීමට නාලන්දා විදුහල සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් ආනන්ද විදුහල් කණ්ඩායමට නායක ඔසඳ පමුදිත ප්රමුඛ නාලන්තා විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 46.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පමුදිත ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගත්තේය.
එහිදී ආනන්ද විදුහල් පිතිකරුවන් අසරණ කිරීම සඳහා පමුදිතට අනගි සහායක් දුන් සන්තුල් විජේරත්න ලකුණු 50 කට කඩුලු 2 ක් දවාගත් අතර මල්ෂ ප්රනාන්දු සහ හසිත රත්නායක එක් කඩුල්ල බැගින් බිඳහෙළමින් සිය කණ්ඩායමට 28 වැනි ජය එක්දින ජයග්රහණය අක්කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261 ක් ලබාගත්තේය. ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 145 කදී ලකුණු 144 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රන්මිත් දිනුවර (78) සහ නෙමිඳු අක්මීමන (79) කෙමෙන් කෙමෙන් නාලන්දා ඉනිම ගොඩනැගූහ.
එහිදී පන්දු 104 කට මුහුණදුන් දිනුවර හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 73 කට මුහුණ දෙමින් තරමක් වේගයෙන් ලකුණු රැස්කළ අක්මීමනගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. නාලන්දා ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ල රැදී සිටි මල්ෂ ප්රනාන්දු, පන්දු 23 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කළේය.
නාලන්දා විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 261
(රන්මිත් දිනුවර 78, නෙමිඳු අක්මීමන 79, මිහින් සොයිසා 16, මල්ෂ ප්රනාන්දු නොදැවී 19, දසිත් බටුගහගේ 24/2, ශාරද ජයරත්න 52/2)
ආනන්ද විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 208
(දනිඳු සෙල්ලප්පෙරුම 80, ශාරද ජයරත්න 23, කිත්ම විදානපතිරණ 22, ඔවින් පෙරේරා 19, ඔසඳ පමුදිත 19/3, සන්තුල් විජේරත්න 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.