Last Update  :  2025-12-02 17:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු - මහීෂ් - මතීෂ අයි.පී.එල්. වෙන්දේසියේදී කෝටි 2 ලන්සුවට

වනිඳු - මහීෂ් - මතීෂ අයි.පී.එල්. වෙන්දේසියේදී කෝටි 2 ලන්සුවට

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

මෙම 16 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2026) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණද ඇතුළත්ව සිටිති. 

වෙන්දේසියේ ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි දෙක, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7 ක් පමණ වනු ඇත. ඔවුන් තිදෙනා හැරුණු කොට තවත් ක්‍රීඩකයන් 42 දෙනෙක් එම ලන්සුව යටතේ මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා ලියාපදිංචි වී සිටිති. රවී බිෂ්නෝයි සහ වෙන්කටේෂ් අයියර් යන ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනාද ඒ අතර වෙති. 

පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 2023 සහ 2024 යන වසරවලදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටද, මෙම වසරේදී (2025) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටද ක්‍රීඩා කළ අතර තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2023 වසරේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමටද, 2024 වසරේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටද, මෙම වසරේදී (2025) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටද ක්‍රීඩා කළේය. 

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිට පිට පසුගිය වසර තුනේදීම (2023 සිට 2025 දක්වා) ක්‍රීඩා කළේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටය. කෙසේ වුවත් ඔවුන් තිදෙනාවම තවදුරටත් කණ්ඩායම්වල රඳවා නොගනිමින් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා මුදාහැරීමට එම කණ්ඩායම්වල කලමණාකාරීත්වයන් පියවර ගත්තේය. 

කණ්ඩායම් වලින් නිදහස් කළ පසු මෙවර වෙන්දේසියට ඉදිරිපත් නොවන ප්‍රභල ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෙස ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සහ දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩුප්ලෙසිස් නම් කළ හැකිය. ඔවුන් අතරින් ඩුප්ලෙසිස් මේ වන විටත් අයි.පී.එල්. තරගාවලියට සමගාමී දිනවලදී පැවැත්වෙන පී.එස්.එල්. (පාකිස්තාන සුපිරි ලීගය) තරගාවලියට සහභාගි වන බව නිවේදනය කර ඇත. 

මෙවර වෙන්දේසිය සඳහා ලොව පුරා ක්‍රීඩකයෝ 1335 දෙනෙක් ලියාපදිංචි වී සිටිති. ඒ අතර ඉන්දීය ක්‍රීඩකයන් 1062 ක් සහ විදෙස් ක්‍රීඩකයෝ 293 ක් වෙති. එහෙත් එම විදෙස් ක්‍රීඩකයන් අතරින් ජාත්‍යන්තර වරම් දිනා ඇත්තේ ක්‍රීඩකයන් 218 දෙනෙක් පමණි. සෙසු ක්‍රීඩකයන් 75 දෙනා ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයෝ වෙති. 

මෙවර වෙන්දේසියේදී කණ්ඩායම්වල පවතින පුරප්පාඩු සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රීඩකයන් 77 දෙනෙක් තෝරාගැනීමට නියමිත අතර එහිදී විදෙස් ක්‍රීඩකයන් සඳහා ඇත්තේ ස්ථාන 31 ක් පමණි. එබැවින් ලියාපදිංචි වී සිටින සියලුම ක්‍රීඩකයන් වෙන්දේසියට ඉදිරිපත් නොකරන අතර තෝරා ගැනීමකින් අනතුරුව ඔවුන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙණු ඇත. 

 

කෝටි 2 ක මූලික ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයෝ :
ශ්‍රී ලංකාව - වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ 
ඉන්දියාව - රවී බිෂ්නෝයි සහ වෙන්කටේෂ් අයියර් 
ඕස්ටේ්‍රලියාව - ෂෝන් ඇබට්, ඇස්ටන් ආගර්, බෙන් කටින්, ජේක් ෆ්‍රෙසර්, කැමරන් ග්‍රීන්, ජොෂ් ඉන්ග්ලිෂ් සහ ස්ටීවන් ස්මිත්  
එංගලන්තය - ගස් ඇට්කින්සන්, ටොම් බැන්ටන්, ටොම් කරන්, ලයෑම් ඩේව්සන්, බෙන් ඩකට්, ඩැනියෙල් ලෝරන්ස්, ලයෑම් ලිවිංග්ස්ටන්, ටයිමාල් මිල්ස් සහ ජෙමී ස්මිත්
නවසීලන්තය - ෆින් ඇලන්, මයිකල් බ්‍රාස්වෙල්, ඩොවොන් කොන්වේ, ජෙකෝබ් ඩෆී, මැට් හෙන්රි, කයිල් ජැමීසන්, ඇඩම් මිල්න්, ඩර්ලි මිචෙල්, විලියම් ඕ’රුකී සහ රචින් රවින්ද්‍ර 
දකුණු අප්‍රිකාව - ජෙරල්ඩ් කොයෙට්සි, ඩේවිඩ් මිලර්, ලුංගි න්ගිඩි, ඇන්රික් නොකියා, රිලී රූසොව්, තබ්‍රේස් ශම්ෂි සහ ඩේවිඩ් වීස් 
බටහිර ඉන්දීය කොදෙව් - ජේසන් හෝල්ඩර්, ශායි හෝප්, අකීල් හොසේන් සහ අල්සාරි ජොෂප් 
ඇෆ්ඝනිස්තානය - මුජිබ් උර් රහමන් සහ නවීන් උල් හක් 
බංග්ලාදේෂය - මුස්තෆිස්ර් රහමන් 

 


අදහස් (0)

වනිඳු - මහීෂ් - මතීෂ අයි.පී.එල්. වෙන්දේසියේදී කෝටි 2 ලන්සුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.