Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රිචඩ්ස් රජුගේ හොඳම 9 දෙනා අතරට සංගාත්

රිචඩ්ස් රජුගේ හොඳම 9 දෙනා අතරට සංගාත්

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඇස ගසාගෙන සිටිය යුතු යයි ශී‍්‍රමත් විවියන් රිචඩ්ස් විසින් නම් කරන ලද කී‍්‍රඩකයන් 10 දෙනා අතරට කුමාර් සංගක්කාරද ඇතුළත්ව සිටී. කි‍්‍රකට් කී‍්‍රඩාවේ අසහාය ප‍්‍රහාරකයා වූ ශී‍්‍රමත් විවියන් රිචඩ්ස් ලෝ පුරා කි‍්‍රකට් විචාරකයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘කිං’ (පිතිකරුවන් අතර රජු) වශයෙනි.

ශී‍්‍රමත් රිචඩ්ස් විසින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙන පිතිකරුවන් 7 දෙනකු සහ පන්දු යවන්නන් දෙදෙනකු තෝරාගෙන ඇත. ඔහු පවසන්නේ පසුගිය වසර කිහිපයේදී කුමාර් සංගක්කාර ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවට මහත් ආලෝකයක් ගෙන ආ බවයි.

”කුමාර් සංගක්කාර මේ සහභාගි වන්නේ තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලියට කීම අසත්‍යයක් නෙමේ. පසුගිය අවුරුදු කිහිපයම බැලූවොත්, සංගක්කාර විසින් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව ඒකාලෝක කරන ලද ආකාරයෙන් කී‍්‍රඩා කරන්නට වෙනත් කිසිවකුට බැරිවුණා”

”ටෙස්ට් තරග වලදී වගේම එක්දින තරග වලදීත් ඔහු විශාල වශයෙන් ලකුණු ලබාගත්තා. මා ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳ ඉතාමත් උනන්දුවන කෙනෙක්. මා විශ්වාස කරන ආකාරයට සංගක්කාරගේ දැනුම සහ අත්දැකීම් ඔහුගේ කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයන් උනන්දු කරවන්නත් ලෝක කුසලාන තරගාවලියේදී විශිෂ්ට යමක් කරන්නත් හොඳටම ප‍්‍රමාණවත්” යයි ශ‍්‍රීමත් විවියන් රිචඞ්ස් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවියට ලියා තිබිණ.

ඒ. බී. ඩිවිලියර්ස්

ඒ. බී. ඩිවිලියර්ස්
මා ඔහු දිහා බලන තරමට මට පෙනෙන්නේ මම මා දිහාම බලා ඉන්නා බවයි. පිතිකරුවාගේ සීමාවේදී ඔහු ඒ තරමටම සැහැල්ලූවෙන් ඉන්නේ
ඔහු ගහන පහරවල් ඒ තරමටම බලා ඉන්න ආසයි. ඒ ප‍්‍රවේගකාරී ශතකය ලබාගත් ඉනිමේදී ඔහු ඒ බව කදිමට පෙන්වා දුන්නා..මට විතරක් නොවෙයි. ඔහු පිතිහරඹයේ යෙදෙනවා බලා ඉන්න සියලූ දෙනාම කැමතියි. ඔහු පා ආවරණ අඳිනවා නම් ඔහු පිටියට එනකම් හැමෝම බලා ඉන්නවා

ඔහුගේ විලාසයට මා කැමතියි. ලෝකයේ  ඕනෑම ඒකකයක් වෙනුවෙන් එක්දින කණ්ඩායමක් තෝරා ගන්නවා නම් ඔහුව කිසිම ආකාරයකින් මගහැරිය නොහැකියි

 

විරාට් කෝලි
මා බලන්නට කැමති අනෙක් කී‍්‍රඩකයා විරාට් කෝලි.

ඔහු තවමත් ඉතාමත් තරුණ කී‍්‍රඩකයෙක්. ඒත් ඔහුගේ නමට ඉදිරියෙන් තිබෙන ටෙස්ට් ශතක සංඛ්‍යාව වගේ දෙගුණයක එක්දින ශතක සංඛ්‍යාවක් ඔහුට තියෙනවා. එක්දින තරග වලදී ඔහු ඒ තරමටම විශ්වාසනීයත්වයකින් පන්දුවට මුහුණ දෙනවා. ඒකෙන් කියැවෙන්නේ ඔහු ටෙස්ට් තරග වලදී ඒ තරම් විශ්වාසනීයත්වයකින් පන්දුවට පහර දෙන්නේ නෑ කියන එක නොවේ. ඒත් එක්දින තරග වලදී ඔහුගේ ඒ ආක‍්‍රමණශීලී විලාසයට මා කැමතියි.

ඔහු තමන්ගේ කි‍්‍රකට් ගමන ආරම්භ කළ විදිහ බලන්න. අද ඔහු සිටින තත්ත්වය දක්වා ඔහු ආ කෙටි කාලය තුළ ඔහුගේ ගමන අති විශිෂ්ටයි. ඔහු දිනෙන් දිනම දියුණු වෙනවා. ඔහුගේ දස්කම් ලයිස්තුව දිනෙන් දින දික්වෙනවා.

 

කි‍්‍රස් ගේල්

කි‍්‍රස් ගේල්
ප‍්‍රහාරාත්මක පිතිකරුවන් ගැන කතා කරනවා නම් කි‍්‍රස් ගේල් ගැන අමතක කරන්නම බෑ. ඔහුගේ දිනයේදී ඔහු විනාශකාරයාමයි. ඒකේ ආයේ දෙකක් නෑ. කි‍්‍රස් ගේල් කියන්නේ පන්දු යවන්නන්ගේ භයංකාර සිහිනයක්.  ඕනෑම පරිසරයක,  ඕනෑම තත්ත්වයක් යටතේ, ඔහු තරග දිනවන්නෙක්. ඔහු නියම රිද්මයට ආවොත් ඇසිපිය ගහන පමාවෙන් ප‍්‍රතිවාදීන්ට පරාජය වැළඳගන්න පුළුවන්. ඔහුට ඒ තරමටම විනාශකාරී විය හැකියි.

 

ස්ටීවන් ස්මිත්
මේ වන විට ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවන් අතරට එන්න ස්ටීවන් ස්මිත් සමත් වෙලා ඉන්නවා. ඔහු ඒ තරම් පොතේ කි‍්‍රකට් ගහන පිතිකරුවෙක් නෙමෙයි. ඒත් පසුගිය අවුරුදු දෙක ඇතුළත ඔහු යෝධ පිමි පනිමින් ඉදිරියට ඇවිත් තියෙනවා. වෙනත් කිසිම කී‍්‍රඩකයෙක් මේ තරම් සීඝ‍්‍ර දියුණුවක් ලබාගෙන නෑ.

ගෙවී යමින් පවතින  ඕස්ටේ‍්‍රලියානු ගිම්හානයේදී  ඕස්ටේ‍්‍රලියානු නායකත්වය ලබාගැනීමෙන් පසුව ඔහුගේ දස්කම් දෙස බලන්න. ඔහුට කිසිම මහන්සියක් නැති පාටයි. කිසිදු අපහසුවකින් තොරව පිටියේ හිදැස් සොයා ගන්නවා. ඒ විතරක් නෙමේ. ඔහුගේ දෑසත් දෑත් කි‍්‍රයාකාරීත්වයත් අතර පවතින්නේ අපූරු සම්බන්ධතාවක්. ඇරත් ඔහු කී‍්‍රඩා කරන්නේ ඔහුගේ මවු බිමේදී. ඒ වාසිය ඔහු ලෝක කුසලාන තරගාවලිය සඳහා උපරිම ආකාරයෙන් යොදා ගනීවි.

 

ග්ලෙන් මැක්ස්වෙල්
අනෙක්  ඕස්ටේ‍්‍රලියානුවා ග්ලෙන් මැක්ස්වෙල්. ඔහු අති විශාල දක්‍ෂතාවක් තියෙන කී‍්‍රඩකයෙක්. ඒත් ඔහු තමන්ගේ හැකියාවේ තරමට දස්කම් පෙන්වා නෑ. ඒත් ඒ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. හරියටම  ඕනෑ වෙලාවෙදි ඔහු මොනවා කරාවිද කියලා අපි කිසි කෙනෙක් තාම දන්නේ නෑ. මෙන්න මේ නිසා තමයි මා මැක්ස්වෙල්ව මගේ ලයිස්තුවට ඇතුළත් කළේ. තමන්ගේ මවුබිමේදීම මැක්ස්වෙල්ට කරන්න පුළුවන් මොනවාද කියා දැකගන්නට මා කැමතියි. මැක්ස්වෙල්ගේ පිත්ත වැඩකළොත් අනිත් කණ්ඩායම් වලට ඔහු දිහා බලා ඉන්නට වේවි.

 

බ්‍රෙන්ඩන් මැකලම්
ඒ වගේම තවත් කී‍්‍රඩකයෙක් තමා නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්. ඉතාමත් මෑතකදී නම් ඔහු දිගින් දිගටම සාර්ථක වුණා. මැකලම් නම් මැක්ස්වෙල්ට වඩා වැඩි යමක් කරන්න පුළුවන් කී‍්‍රඩකයෙක්. ඔහු නිකම් ඩයිනමෝවක් වගේ. අවස්ථා නිර්මාණය කරනවා. මැකලම් තමන්ගේ කණ්ඩායම මෙහෙයවන්නේ තමන්ගේම රටේදී නිසා තමන්ගේ දේශගුණික සහ කී‍්‍රඩාංගණ පිළිබඳ දැනුමත් දේශීය කි‍්‍රකට් ලෝලීන්ගේ සහයෝගයත් මත ඔහුට යමක් කළ හැකියයි මා හිතනවා. ඒ කොහොම වුණත් ලෝක කුසලානයකට අත තියන්න ඔහුට ලැබෙන අවසන් අවස්ථාව මේක තමා.

 

ඬේල් ස්ටේන්
පන්දු යවන්නන් ගැන බැලූවොත් මගේ මනසට ඉස්සෙල්ලාම එන්නේ දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටේන්. මගේ මතය අනුව මේ වන විට ලෝකයේ සිටින හොඳම වේග පන්දු යවන්නා ඔහුයි. ඔහු වසර කිහිපයක් තිස්සේම ඒ තත්ත්වය පවත්වාගෙන එනවා. ඒ විතරක් නොවේ. ඔහු ඉතාමත් ආක‍්‍රමණශීලීයි. ඒ වගේම තමන්ගේ දස්කම් එකම තලයක පවත්වාගෙන යනවා. වේග පන්දු යවන්නකු වශයෙන් ඔහුගේ හැකියාව කිසිවකුට දෙවැනි වන්නේ නෑ.

එක්දින තරග වලදී වුණත් ඔහු බලන්නේ ලකුණු නවත්වන්න නෙමේ. කඩුලූ දවාගන්නයි. ස්ටේන්ගේ පන්දු යැවීම පවතින්නේ වේගය සහ ආක‍්‍රමණය මතයි. තරගයේ තත්ත්වය කුමක් වුවත් ඔහු කඩුලූ දවාගනීවි. ඒ නිසා තරගයේ ඉතාමත් වාසිදායක ස්ථාවරයක් ඇතිකරගන්නට දකුණු අපි‍්‍රකාවට පුළුවන්. මේ ලෝක කුසලාන තරගාවලියේදී තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී යමක් කරන්නට ඔහුට පුළුවන් වේවි කියා මා හිතනවා. ඒක දිගු කාලයකට පස්සේ දකුණු අපි‍්‍රකානුවන් වෙනුවෙන් මතක හිටින යමක් වේවි.

 

මොහොමඞ් ඉර්ෆාන්
අඩි 7 ක් උස මොහොමඞ් ඉර්ෆාන් මගේ අනෙක් තේරීමයි. ඔහුගේ උස නිසා  ඕස්ටේ‍්‍රලියාවේ තියෙන දැඩි තණතීරු මතදී ඔහු උකහාගන්නා ඉපිළීමත් ඔහුට මහත් උපකාරයක් වේවි. ඒත් මේ තත්ත්වය පිතිකරුවන්ට නම් ඒ තරම් සුබ වෙන එකක් නෑ.
අනෙක් අතට ඔහු වමතින් වේග පන්දු යවන්නෙක්. පන්දු යැවීමට ඔහු දිව ඒමේදී නිර්මාණය වන කෝණය පිතිකරුවන් තවත් අපහසුතාවට පත්කරාවි. ඔහු තරගාවලිය පුරාම නියමිත ශාරීරික යෝග්‍යතාවෙන් හිටියොත් පාකිස්තානයට හොඳ වේග පන්දු යවන්නෙක් ඉන්නවා.


අදහස් (0)

රිචඩ්ස් රජුගේ හොඳම 9 දෙනා අතරට සංගාත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.