Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් ධාවකයෝ සමන් කුමාරට පරදිති

යොවුන් ධාවකයෝ සමන් කුමාරට පරදිති

editorial - 2024 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කිලෝමීටර් 315 ක් දුරැති මීගොඩ නිදහස් දෙදින පාපැදි සවාරියේ ජය පළපුරුදු යොවුන් ධාවකයන් රැසක් අබිබ වූ නාවික හමුදා ක්‍රීඩක කේ. සමන් කුමාරට හිමි විය. ඔහු ඒ වෙනුවෙන් කහ කමිසය සමඟ රුපියල් ලක්ෂ දෙකක ත්‍යාග මුදලක් දිනාගත් අතර පැය 8යි විනාඩි 8යි තත්පර 38 ක කාලයක් ඔහු මෙම කිලෝමීටර 315 ක ධාවනය අවසන් කිරීමට ගත කළේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මීගොඩ එක්සත් ක්‍රීඩා සමාජය හා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම දෙදින පාපැදි සවාරිය සඳහා තරඟකරුවෝ 124 දෙනෙක් සහභාගී වූහ. ඉන් 65 දෙනෙක් මුළු තරගයේ ධාවනය අවසන් කිරීමට සමත් වූහ.

කිලෝ මීටර් 168.5 ක දුරක් ගෙවූ දඹුල්ලේ සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලින් අවසන් වූ තරගයේ පළමු අදියර ජය ගැනීමට සමත් වූයේ ද සමස්ත තරගය ජය ගත් කේ. සමන් කුමාර විසිනි. මෙම ධාවන මාර්ගයේ විශේෂත්වය වූයේ ගෝන ගල්දෙණිය හරහා රුවන්වැල්ල පසු කරද්දී වැටී තිබූ අතිදුෂ්කර ගමන් මාර්ගයයි.

එහිදී කිලෝමීටර නවයකට ආසන්න දුරකින් යුත් කන්දක් එක දිගට තරණය කිරීමට ධාවකයන්ට සිදු විය. එය පාපැදි ධාවකයන්ට අලුත් තරඟ අත්දැකීමක් ගෙන දුන් අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා පැවැසුවේ මෙතරම් දීර්ඝව කන්දක් තරණය කිරීමට ධාවකයන්ට සිදුවීම දුලභ සිදුවීමක් වූ බවයි.

එහි දී යොවුන් ක්‍රීඩකයන්ට වඩා දරා ගැනීමේ ශක්තියෙන් ඉදිරියට පැමිණි ජ්‍යෙෂ්ඨ ධාවකයන් අතරින් 38 හැවිරිදි කේ. සමන් කුමාර පළමු අදියරේ වාසියක් උපරිම ලබා ගනිමින් සමස්ත තරගය ජය ගැනීමට සමත් වූ බවත් ඔහු පැවැසීය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී මීපේ, බෝපේ, පාදුක්ක හරහා යළි මීගොඩ ආරම්භක ස්ථානයෙන් කිලෝමීටර 146 ක දුරක් ගෙවා අවසන් කළ දෙවැනි (අවසන්) අදියරේ ජය හිමි වූයේ ගුවන් හමුදා ක්‍රීඩක සචින් මධුවන්තටය. ඒ පැය 3 විනාඩි 40 තත්පර 56 කටය. ඔහු සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දිනූ ක්‍රීඩකයායි.

ඒ වෙනුවෙන් ඔහු දිනාගත් ත්‍යාග මුදල රුපියල් 160000 කි. සමස්ත තරගයේ පස් වැනි ස්ථානයට හිමි රුපියල් 80000 ක් හිමි කර ගත් පොලිස් ක්‍රීඩක උපුල් ලොකුගේ මේ වන විට 49 හැවිරිදි වියේ පසුවන්නෙකි.

සමස්ත තරගයේ 50 වැනි ස්ථානය තෙක් හා අදියර තරඟ ජයග්‍රාහකයන් වෙනුවෙන් මීගොඩ එක්සත් ක්‍රීඩා සමාජය රුපියල් මිලියන දෙකක ත්‍යාග මුදලක් ප්‍රදානය කර සිටියේය.

මේ අතර වේගවත්ම (ස්ප්‍රින්ට්) ධාවකයාට හිමි කොළ කමිසය සඳරුවන් පින්තෝ (යුද හමුදාව විසින්ද, වයස 23 න් පහළ දක්ෂතම යොවුන් ක්‍රීඩකයාට හිමි සුදු කමිසය දේෂාන් කවින්ත (යුද හමුදා) විසින්ද හා කඳු තරණයේ ශූරයාට හිමි සුදු හා රතු තිත් මිශ්‍ර කමීසය පැතුම් සම්පත් විසින්ද දිනා ගන්නා ලදි.

සාෆ් රන් පදක්කම්ලාභී ධාවකයකු වන ජීවන් ජයසිංහ සමන්ත තරගයේ 40 වැනි ස්ථානය ලැබීය. අදියර ජයග්‍රාහී කණ්ඩායම් සඳහා වන මුදල් ත්‍යාග යුද හමුදා කණ්ඩායම් විසින් දිනා ගන්නා ලදි.

මීගොඩ පාපැදි සවාරියේ ජයග්‍රහණය ලද කේ. සමන් කුමාර පැවති ජාතික පාපැදි තරගාවලියේ අට වැනි ස්ථානය ලද ක්‍රීඩකයායි. එහි ජයග්‍රහකයා වෙමින් ජාතික පාපැදි (පිරිමි) ශූරතාව දිනා ගත් පොලිස් ක්‍රිඩක චමෝද් ද සිල්වාට මීගොඩ සවාරියේ අත්වූයේ 17 වැනි ස්ථානයයි.

සමස්ත තරගයේ ධාවකයන්ගේ සාමාන්‍ය වේගයේ අගය කිලෝමීටර 38.67ක අගයක් ගත්තේය. මෙම තරගයේ ප්‍රධාන සංවිධායක ලෙස  ගයාෂාන් අරංගල මහතා කටයුතු කළේය.

 

මීගොඩ පාපැදි සවාරියේ (කිලෝමීටර 314.8) 10 වැනි ස්ථානය තෙක් තරග ප්‍රතිඵලය

1 කේ. සමන් කුමාර (පැය 8විනාඩි 8.38)
2 සචින් මධුවන්ත (ගුවන් හමුදාව – 8.11.02)
3. එච්.ඩබ්ලිව්.එම්. සඳරුවන් (යුද හමුදාව – 8.11.32)
4. අචින්ත රුක්මාල් (යුද හමුදාව – 8.11.33)
5. උපුල් ලොකුගේ (පොලිස් 8.11.34)
6. පැතුම් සම්පත් (යුද හමුදාව 8.1.38)
7. ගිහාන් ලක්මාල් (දෙහිවල-ගල්කිස්ස – 8.11.43)
8. විරාන් රමේෂ් (වරාය අධිකාරිය – 8.11.51)
9. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව – 8.11.57)
10. පී.කේ.එස්.ඒ. කුමාර (යුද හමුදාව - 8.12.01)

 


අදහස් (0)

යොවුන් ධාවකයෝ සමන් කුමාරට පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.