Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේසපන්දු තේරීම් කමිටුවට දෙවියන්ගේ හස්ථය
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල

මේසපන්දු තේරීම් කමිටුවට දෙවියන්ගේ හස්ථය

editorial - 2022 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට සුදුසුකම් නොලත් ක්‍රීඩකයකු ඇතුළත්ව ඇති බවට මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වී තිබේ. 

අදාල ක්‍රීඩකයා ඉකුත් ඉරිදා සහ සඳුදා (29 සහ 30) පැවැති තේරීම් තරග සඳහා සහභාගි නොවූවත් ඔහුට මේසපන්දු කණ්ඩායමේ අංක එකේ ස්ථානය හිමිව ඇති බවත්, සෙසු ක්‍රීඩකයන්ට අතින් වියදම් දරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමට සිදුව ඇති පසුබිමක මෙම ක්‍රීඩකයා සඳහා බරපැන දැරීමට ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිපත්වී ඇති බවත් වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී මේසපන්දු සංගමයේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ පුරප්පාඩු පිරවීමේ ක්‍රමවේදට අනුව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව තිබුණේ එක් මේසපන්දු ක්‍රීඩකයකු පමණක් බවය. කෙසේ වුවත් එහි කණ්ඩායම් ඉසව්වට නිර්දේෂ ලබා සිටි රටක් ඉවත් වීමත් සමග එම ස්ථානයට ශ්‍රී ලංකාව මේසපන්දු කණ්ඩායමක් ඇතුළත් කරවීමට අවස්ථාව හිමිවූ බවද හෙතෙම පැවසීය. 

2020 වසර ආරම්භවන විට පැවැති ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමි වූයේ හිටපු ජාතික ශූර රොහාන් සිරිසේනටය. කෙසේ වුවත් ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි රොහාන්ට පසුපසින් සිටි සුපුන වරුසවිතානට ඉකුත් අප්‍රේල් මාසයේදී එම අවස්ථාව හිමිවිය. 

“ඒන්.ඕ.සී. (ජාතික ඔලිම්පික් කමිටුව) අපිට කිව්වෙ එක්කෙනක් තේරිලා ඉන්න නිසා තව දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි තෝරලා දෙන්න කියලා විතරයි. ඒ නිසා අපි තේරිලා ඉන්නවා කියපු කෙනාව තේරීම් තරගාවලියට සහභාගි කරගත්තේ නෑ. තේරීම් තරගාවලියේ ප්‍රතිඵල තේරීම් කමිටුවට යොමු කරලා ක්‍රීඩකයො තුන් දෙනෙක් නිර්දේෂ කරලා එන්.ඕ.සී. එකට යැවුවා.” යැයිද මේසපන්දු සංගමයේ ඉහළ නිලධාරියා එහිදී කියා සිටියේය. 

කෙසේ වුවත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීමත් සමග එක් ක්‍රීඩකයෙක් පමණක් ඉදිරිපත් කිරීමට හිමිවූ අවස්ථාව අහිමිවන බවත්, කණ්ඩායමට ඇතුළත්වන ක්‍රීඩකයන්ම කේවල සහ යුගල ඉසව් සඳහා තරග වැදිය යුතු බවත් මේසපන්දු ප්‍රවීණයෝ පෙන්වා දෙති. එබැවැන් එම කණ්ඩායම තෝරාගනු ලබන තේරීම් තරගාවලියට සුපුනද සහභාගි විය යුතු බව ඔවුන්ගේ මතයයි. 

මේසපන්දු සංගමයේ උපදෙස් මත සුපුන අදාල තේරීම් තරගාවලියට සහභාගි නොවී ඇති අතර ඊට සහභාගි වූ ක්‍රීඩකයන් 7 දෙනාගෙන් ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයන් තිදෙනා (ක්‍රිෂාන් වික්‍රමරත්න, චමීර ගිණිගේ සහ මිලින්ද ලක්ෂිත) කණ්ඩායමට ඇතුළත් කිරීමට සංගමය පියවර ගෙන තිබේ. ඒ අනුව සුපුන සමග කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනා සම්පූර්ණ වී තිබේ. තේරීම් තරගාවලියේදී සිවුවැනිට ලකුණු ලැබූ ක්‍රීඩක නුවන්ත නිරෝෂන කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම්කර ඇත. 

තේරීම් තරගාවලියට සහභාගි නොවූ නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට කණ්ඩායමට ඇතුළත්ව සිටින සුපුන මෑත කාලයේදී ජාතික සංචිතයේ පුහුණුවීම් සඳහා සහභාගි නොවූ බවත්, මේ වන විට ඔහු ජාතික ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන බවද ‘ලංකාදීප’ කළ විමසුමකදී මේසපන්දු ජාතික පුහුණුකරු චතුර දුෂාන් මහතා කියා සිටියේය. 

මෙම වසර තුළ පැවැති සමස්ත ලංකා මේසපන්දු තරගාවලි තුනටම සුපුන සහභාගි වී ඇති නමුත්, එහිදී එක් ශූරතාවක් හෝ දිනාගැනීමට ඔහු සමත් වී තැති බවද හෙළිදරව් වේ. එපමණක් නොව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ කටාර්හිදී පැවැති ආසියානු මේසපන්දු ශූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගත් තේරීම් තරගාවලියටද ඔහු සහභාගි වී නොමැති බව තහවුරු විය. 

2020 වසරේ ආරම්භ වන විට ජාතික ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන වුවද, ඉකුත් වසරේදී (2021) පැවැති සමස්ත ලංකා මට්ටමේ තරගාවලියක ශූරතාවක් දිනාගැනීමටද සුපුන සමත්වී නැතැයි වාර්තා වේ. ඒ අනුව බලන කළ මේ වන විට දස්කම් අතරද නොමැති, ජාතික සංචිතයේ පුහුණුවීම් සඳහාද සහභාගි නොවූ ක්‍රීඩකයකු ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීම මත අංක එකේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට ඇතුළත්ව ඇතැයි ක්‍රීඩකයෝ පිරිසක් චෝදනා කරති. 

ශ්‍රී ලංකාව සහභාගි වන බහු ක්‍රීඩා උළෙල අතරින් වැඩිම ජාත්‍යන්තර වටිනාකමක් සහිත ක්‍රීඩා උළෙලක් ලෙස සැලකෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් තෝරාගැනීමේදී විනිවිද භාවයකින් තොරව කටයුතු කිරීම ඉතා කණගාටුදායක කරුණක් බව මේසපන්දු ප්‍රවීණයෝ පෙන්වාදෙති. 

 


අදහස් (0)

මේසපන්දු තේරීම් කමිටුවට දෙවියන්ගේ හස්ථය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.