Last Update  :  2026-03-14 16:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙහෙදි හසන්ගේ පිළිකුල් සහගත දවාගැනීම
එක්දින ක්‍රිකට්

මෙහෙදි හසන්ගේ පිළිකුල් සහගත දවාගැනීම

editorial - 2026 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස් විසින් පාකිස්තානු පිතිකරු සල්මන් අඝා දවාගත් ආකාරය මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගුණාංග දිනෙන් දින වලපල්ලට ඇදී යමින් පවතින බවට කදිම නිදසුනකි. පිළිකුල් සහගත සිදුවීමකින් පසුව සල්මන් අඝා දවාගත් නමුත් තරගය ජයගැනීමට බංග්ලාදේශීහු අපොහොසත් වූහ. 

බංග්ලාදේශයට අත්වූයේ ලකුණු 128 ක නින්දා සහගත පරාජයකි. 

බංග්ලාදේශයේ ඩකා අගනුවරදී, සිකුරාදා (13 වැනිදා) පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානුවෝ ඉතාමත් හොඳ ලකුණු වේගයක් පවත්වාගෙන යමින් සිටියහ. 20 වැනි ඕවරය අවසන් වීමටත් මත්තෙන් ඔව්හු ලකුණු 120 ක් ලබා සිටියහ. 20 වැනි ඕවරයේදී ලකුණු 122 කට තුන්වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් එතැනින් එක්වූ මොහොමඩ් රිස්වාන් (44) සහ සල්මන් අඝා (64) දෙදෙනා, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කින් ලකුණු 109 ක සම්බන්ධතාවක් පවත්වා තිබිණ. 

මෙම අවස්ථාවේදී මොහදි හසන් මිරාස්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන් පන්දුව තල්ලු කළ අතර එය පන්දු යවන්නා වෙත ඇදී එන අවස්ථාවේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි සල්මන් අඝාගේ පාදයේ වැදී නතර විය. පන්දුව අහුලා නැවතත් පන්දු යවන්නාට බාරදීමට සල්මන් අඝා සූදානම් වූ නමුත් අඝාට වඩා ඉක්මන් වූ මෙහෙදි හසන් මිරාස්, සැණෙකින් පන්දුව අහුලා කඩුල්ල වෙත දමා ගැසීය. ඒ වන විට සල්මන් අඝා තම සීමාවෙන් ඉවත සිටි බැවින්, පිතිකරුවා දුවද්දී දැවී ගියේ යයි මෙහෙදි හසන් මිරාස් ඉල්ලීමක් කළේය. 

පිටියේ විනිසුරු තන්වීර් අහමඩ් විසින් තීරණය රූපවාහිනී විනිසුරුවරයාට යොමු කරන ලදි. 
රූපවාහිනී ප්‍රතිදර්ශන නැරඹූ ශ්‍රී ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන මහතා විසින් ද සල්මන් අඝා දැවී ගිය ක්‍රීඩකයකු බවට නම්කරන ලද්දේ ක්‍රිකට් පොතේ නීති රීති අනුවය. ධර්මසේන මහතාගේ තීරණයට පසුබිම වූයේ ඒ වන විටත් පන්දුව සජීවී ලෙසින් පැවතීමත්, පිතිකරුවා තම සීමාවෙන් පිටත සිටිමත්ය. 

තමන් දැවී ගිය බවට නම්කිරීමෙන් පසුව පන්දුව අහුලා පොළොවේ ගැසූ සල්මන් අඝා, ආපසු ක්‍රීඩාගාරයට යන ගමනේදී මෙහෙදි හසන් සමගින් වචන හුවමාරුවකට පැටළුණේය. මෙහෙදි හසන්ගේ සහායට ලිටන් දාස් ද ඉදිරිපත් වීම නිසා වචන හුවමාරුව උත්සන්න වූවත්, මොහොමඩ් රිස්වාන් තත්ත්වය සන්සුන් කිරීමට මැදිහත් විය. 

මෙම දැවී යාමෙන් සල්මන් අඝා සහ රිස්වාන් අතර සිව්වන කඩුල්ල සඳහා ලකුණු 109 ක සම්බන්ධතාව බිඳී ගියේය. 

ක්‍රිකට් නීතියට අනුව තුන්වන විනිසුරුවරයාගේ තීරණය පහසු එකකි. මක්නිසාද යත් ඒ වන විට පන්දුව නිශ්චලව නොතිබූ බැවින් කඩුල්ල බිඳ දැමීමට පන්දු යවන්නාට (මෙහෙදි හසන් මිරාස්) අයිතියක් තිබුණි. ඒ මොහොත වන විට සල්මන් අඝා සිය සීමාවේ නොසිටි බැවින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකි. 

එය නීත්‍යානුකූල දැවී යාමක් වන නමුත් අනෙක් අතට ක්‍රීඩාශීලිත්වය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය සමග දරුණු ගැටුමක් ඇතිකරවන්නකි. 

මෙම අසෝබන දවාගැනීමෙන් පන්දු දෙකකට පසුව මොහොමඩ් රිස්වාන් ද දැවී ගිය බැවින් පන්දු දෙකක් ඇතුළත පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 3 ට 231 සිට කඩුලු 5 ට 231 දක්වා වෙනස් විය. අවසානයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 274 කට දැවී ගියේය. 

එහෙත් බංග්ලාදේශයට සිදුවූ සෙතක් නැත. බංග්ලාදේශයට ඇතිවූයේ අපකීර්තිය, ලැජ්ජාව, සහ පසුතැවිල්ල පමණි. 

බංග්ලාදේශය ද ලකුණු 114 කට දැවී ගියේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පාකිස්තානයට ලකුණු 128 ක දැවැන්ත ජයක් අත්කර දෙමිනි. 

බංග්ලාදේශය මෙවැනි අසික්කිත දවාගැනීම් වලට ප්‍රකටය. 

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නවදිල්ලියේදී පැවැති තරගයකදී බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් විසින්, ශ්‍රී ලාංකික පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් කාලය ඉකුත් වීමෙන් දවාගන්නා ලදි. එයද නීත්‍යානුකූල දැවීයාමක් වූ නමුත් පසුව එය මහත් මතභේදයකට තුඩු දුන්නේය. 

එදා තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ තමන්ගේ දැවීයාම බංග්ලාදේශයට මෙන්ම සකිබ් අල් හසන්ට ද බරපතළ නින්දාවක් බවයි. 
“(ක්‍රීඩකයෙක් සතුව තිබිය යුතු) සාමාන්‍ය බුද්ධිය කොහේ ගියාද කියලා මම දන්නේ නැහැ”
“එය පැහැදිලිවම සකිබ්ට වගේම බංග්ලාදේශයටත් නින්දාවක්. ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍ය ඒ වගේ නම්, එය ඒ තරම්ම පහළට වැටිලා නම්, මම හිතන්නේ කොතැන හරි බරපතල විදිහට යමක් වැරදිලා තියෙනවා” යයි ඇන්ජලෝ මැතිව්ස් 2023 නොවැම්බර් 6 වැනිදා කීවේය. 


පාකිස්තානය - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 274 යි
(සහබඩ්සා ෆර්හාන් 31, මාස් සාදාත් 75, මොහොමඩ් රිස්වාන් 44, ෂල්මන් අඝා 64, ෆාහිම් අශ්රෆ් 14, මෙහෙදි හසන් මිරාස් 34/2, රිෂාඩ් හොසේන් 56/3)

බංග්ලාදේශය - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 114 යි
(යසිෆ් හොසේන් 12, ලිටන් දාස් 41, තව්හීද් රිදෝයි 28, අෆිෆ් හොසේන් 14, ශහීන් ෂා අෆ්රීඩි 22/2, හාරිස් රවුෆ් 26/3, මාස් සාදාත් 23/3)

- 213

 


අදහස් (0)

මෙහෙදි හසන්ගේ පිළිකුල් සහගත දවාගැනීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.