Last Update  :  2024-05-07 22:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ​බෙයාස්ටෝගේ ශතකය පන්ජාබ් පිලට ජය ගෙනෙයි
අයි.පී.එල්. - 2024

​බෙයාස්ටෝගේ ශතකය පන්ජාබ් පිලට ජය ගෙනෙයි

editorial - 2024 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමිර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද (26 වැනිදා) කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කණ්ඩායම සමත් විය. පන්ජාබ් ක්‍රීඩකයන් මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය වූ අතර කොල්කටා ක්‍රීඩකයන් ලැබූ  තෙවැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් ක්‍රීඩාකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.  ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ පන්දු 48 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 8 ක් සමග ⁣නොදැවී ලකුණු 108 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ප්‍රභසිම්රන් සිං (54) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙයාස්ටෝ, ඉන් නොනැවතී රිලී රූසොව් (26) සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 39 කින් ලකුණු 85 ක්ද, ශාසන්ක් සිං (නොදැවී 68) සමග එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 37 කදී ලකුණු 84 ක්ද එක් කරමින් පන්ජාබ් ජයග්‍රහණය තහවුරු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 261 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ පිලිප් සෝල්ට් (75) සහ සුනිල් නරේන් (71) අර්ධ ශතක ලබාගනිමින් කොල්කටා ඉනිම සවිමත් කළහ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනගැනීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

පන්දු 37 කට මුහුණදුන් සෝල්ට් හයේ පහර 6 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 32 කදී වාර්තා වූ නරේන්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. වෙන්කටේෂ් අයියර් පන්දු 23 කින් ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ ඔන්ඩ්‍රි රසල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 12 කදී ලකුණු 24 ක්ද, ශ්‍රෙයාස් අයියර් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

 

කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී 6 ක් දැවී 261
(පිල්ප් සෝල්ට් 75, සුනිල් නරේන් 71, වෙන්කටේෂ් අයියර් නොදැවී 39, ඔන්ඩ්‍රි රසල් 24, ශ්‍රෙයාස් අයියර් 28, අර්ෂ්දීප් සිං 45/2)

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 2 ක් දැවී 262
(ප්‍රභසිම්රන් සිං 54, ජොනී බෙයාස්ටෝ නොදැවී 108, රිලී රෑසොව් 26, ශාසන්ක් සිං නොදැවී 68)

 


අදහස් (0)

​බෙයාස්ටෝගේ ශතකය පන්ජාබ් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.