Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාර්ලිමේන්තු මන්ත්‍රී සකිබ් ටෙස්ට් පිටියට
චැටෝග්‍රෑම් ටෙස්ට් තරගය

පාර්ලිමේන්තු මන්ත්‍රී සකිබ් ටෙස්ට් පිටියට

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සකිබ් අල් හසන් නැවතත් ටෙස්ට් සංචිතයට එක්වීමත් බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හදිසියේම නිවාඩු ලබා ඕස්ටේ්‍රලියාවට යාමත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට පොරතුව වැඩි දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකා විය. හතුරුසිංහ මහතා නිවාඩු යාම හේතුවෙන් බංග්ලාදේශයේ පුහුණුකරු තනතුර ශ්‍රී ලංකා කණ්ඩායමේත් හිටපු පුහුණුකරුවකු වන නික් පොතාස් මහතාට බාර වී තිබේ. 

නික් පොතාස්ගේ කෙරුවාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳින්ම දන්නා බැවින්, එයම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය වැඩිවීමටත් කාරණාවක් වී තිබේ. සකිබ් අල් හසන් බංග්ලාදේශයේ පාර්ලිම්න්තු මන්ත්‍රීවරයකු ලෙසින් තේරී පත්වීමෙන් පසුව ඔහු සහභාගි වන පළමු වැනි අන්තර්ජාතික තරගය මෙයයි. එපමණක් නොව, ‘කාලය ඉකුත් වී අවසන්’ යයි කළ ඉල්ලීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හමුවේ සකිබ් තරග වදින පළමු වැනි අවස්ථාවත් මෙයයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (30 වැනිදා) පෙරවරු 9.30 ට චැටෝග්‍රෑම් නුවර සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී. 

නික් පොතාස් නම් කියන්නේ සකිබ් අල් හසන්ගේ එක්වීම නිසා (බංග්ලාදේශ) කණ්ඩායම වඩාත් සන්සුන් කණ්ඩායමක් වන බවයි. ඒත් සකිබ්ගේ ඉතිහාසය දන්නා අය ඒ කතාව පිළිගනීවිද නැද්ද යන්න නම් ඇත්තේ කුකුසකි. 

වතාවක් විනිසුරුවරයා දැවී යාමේ තීන්දුවක් නොදුන් පමණින් කෝපයට පත් සකිබ් කඩුල්ලට පයින් ගැසූ ආකාරයත් පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමට ‘කාලය ඉකුත් වී අවසන්’ යයි ඉල්ලීමක් කරමින් තරගාවලියම කැළඹූ ආකාරයත් ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් හොඳින්ම මතක තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින එදිරිවාදීකම ආරම්භ වූයේ 2018 නිදහස් කුසලාන තරගාවලියෙන් වුවත්, සකිබ්ගේ සමයං නිසා මේ එදිරිවාදීකම එන්න එන්නම වැඩිවෙමින් තිබේ. 

චැටෝග්‍රෑම් නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී සකීබ් අල් හසන්ගේ පුනරාගමනය පිළිබඳ බංග්ලාදේශ මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායකයා ඊට පිළිතුරු දෙන්නේ උපහාසය මුසු ස්වරයෙනි. 

“මං මොකටද එයා ගැන කතා කරන්නේ... එයා ඉන්නේ මගේ කණ්ඩායමේ නෙමේනේ... ” යයි ධනංජය ද සිල්වා පිළිතුරු දුන්නේය. 

සිලත් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගය සකිබ්ට අහිමි වූයේ ඔහුගේ ඇසේ තිබූ ආබාධයක් නිසා සුවය ලබමින් සිටි බැවිනි. එහෙත් ඇත්ත වශයෙන්ම සකිබ් නැවතත් ටෙස්ට් කණ්ඩායමට එක්වන්නේ වසරක කාලයකට පසුවය. ඊයේත් ඔහු පන්දු රැකීමේ අභ්‍යාස වල යෙදුණා මිස පුහුණු දැළ තුළදී පන්දුව පහර දීමට හෝ පන්දු යැවීමට උත්සුක නොවීය. සකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2023 අප්‍රේල් මාසයේදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවය. 

“සකිබ් වගේ කෙනෙක් ඉන්න එක ඕනම කණ්ඩායමකට ලොකු වාසියක්. එයා වගේ කෙනෙක් ක්‍රීඩකයන්ගේ කාමරයේ ඉන්නවා කියන්නේ අනෙක් ක්‍රීඩකයන්ටත් විශ්වාසය එන්නත් කරනවා වගේ” 

“අනෙක් කාරණාව තමයි සකිබ් ඉන්නවා කියන්නේ ශන්ටෝට (නායක නජ්මුල් හොසේන්) උපදේශයක් ගන්න පුළුවන් තවත් කෙනෙක් කණ්ඩායමේ ඉන්නවා කියන එක. සකිබ් ලෝකයේ ඉහළම මට්ටමේ ක්‍රීඩකයෙක් විතරක් නෙමේ අත්දැකීම සම්භාරයක් තියෙන කෙනෙක්. ඒ වගේ කෙනෙක් පිට්ටනියේ ඉන්නකොට නිතරම සන්සුන් බවක් තියෙනවා” යයි නික් පොතාස් කීවේය. 

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම තරුණ බවත් ඔවුන් අත්දැකීම් එකතු කරමින් සිටින බවත් නික් පොතාස් කියයි. මේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් සිටියදීත් දිගින් දිගටම කී කතාවකි. 
“මේ තරුණ ක්‍රීඩකයන්ට අත්දැකීම් ලබාගන්න තවත් ටිකක් කාලය දෙන්න ඕනේ” යයි පොතාස් කීවේ “අපි දැන් කණ්ඩායම ගොඩනඟමින් ඉන්නේ. ඒ නිසා ක්‍රීඩා ලෝලීන් ටිකක් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ” යයි ද ඊට එකතු කරමිනි. පොතාස්ගේ මේ පොත ගැන ශ්‍රී ලාංකිකයයෝ නම් හොඳින්ම දනිති. 

ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් තමන්ගේ වේග පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබා ඇතත් තවත් දඟ පන්දු යවන්නකුට අවස්ථාව නැතුවාම නොවේ. කසුන් රාජිත පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහුගේ අඩුව පිරවීමට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක්විය. 2022 ටෙස්ට් තරගාවලියේ තරග දෙකකදී, අසිත සහ කසුන් රාජිත එක්ව ටෙස්ට් තරග දෙකකදී කඩුලු 24 ක් බෙදා ගත්හ. එසේ වුවත් චැටෝග්‍රෑම් නුවරින් ලැබෙන ආරංචි වලින් දනගන්නට ඇත්තේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා සූදානම් කෙරෙන තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වන බවයි. මක්නිසාද යත් සිලත් නුවරදී වේග පන්දුවෙන් ශ්‍රී ලංකාව මට්ටු කිරීමට ගිය බංග්ලාදේශීන් එයින්ම මට්ටු වූ බැවිනි. 

අනෙක් අතට සකිබ් අල් හසන් ද කණ්ඩායමට එකතු වන බැවින් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කිරීම, තරගය දිග හැරෙද්දී ඔහුගේ පන්දු යැවීමෙන් ද වාසියක් ලබාගැනීමේ අවස්ථාවකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් පස් දෙනකුගෙන් තරගයට යාමට අදහස් කරන්නේ නම්, රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට එක්වීමට බොහෝ ඉඩකඩ තිබේ. ඒ වේග පන්දු යවන්නන් තිදෙනකු, ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් ය. 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සිය මව්බිමේදීම (කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී) බංග්ලාදේශයට පරාජය වී ඇතත් බංග්ලාදේශයේදී බංග්ලාදේශයට පරාජය වී නැත. වසර 23 ක ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තවමත් තරගාවලියකින් අපරාජිත කණ්ඩායමකි. මෙවර තරගාවලියේදී වුවද, පළමු තරගය ජයගෙන සිටින බැවින් තරගාවලියේදී ශී ලංකාව පරාජය කළ නොහැකිය. 


බංග්ලාදේශ සංචිතය
මහමදුල් හසන්, සකීර් හසන්, නජ්මුල් හොසේන් ශන්ටෝ (නායකයා), මොමිනුල් හක්, සකිබ් අල් හසන්, ලිටන් දාස් (කඩුලු රකින්නා), මෙහෙදි හසන් මිරාස්, තයිජුල් ඉස්ලාම්, ෂොරිෆුල් ඉස්ලාම්, කාලිඞ් අහමඞ්, නහීද් රානා සහ හසන් මහමුද්

ශ්‍රී ලංකා සංචිතය 
දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායකයා), කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර


අදහස් (0)

පාර්ලිමේන්තු මන්ත්‍රී සකිබ් ටෙස්ට් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.