Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු කොටසේ ශූරතාව ශ්‍රී ලංකාවට
ආසියානු රග්බි - 2024

පළමු කොටසේ ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2024 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සත්කාරකත්වයෙන් පැවැති ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කොළඹ, රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අවසන් මහ තරගයේදී කසකස්තානයට එරෙහිව ලකුණු 45-07 ක පහසු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහි ශූරතාවට හිමිකම් කීහ. 

පළමු අර්ධය නිමාවට පත්වන විට 31-00 ක් ලෙස පෙරමුණේ පසුවූ ශ්‍රී ලංකාව දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 14 ක් රැස්කළ අතර කසකස්ථානයට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 07 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර කසකස්ථානය ලකුණු රැස්කළේ එක් ගෝල දිනුමක් මගිනි. 

තරගයේ 11 වැනි විනාඩියේදී සුබේර් දොරේ ලබාගත් උත්සාහක දිනුමේ සහ 18 වැනි විනාඩියේදී අදීෂ වීරතුංග ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථන සාර්ථක කර ගැනීමට උප නායක තරින්ද රත්වත්තේ අසමත් විය. ඒ අනුව මුල් විනාඩි 20 අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 10-00 ක් ලෙස පෙරමුණේ පසුවිය. 

කෙසේ වුවත් ඉන් අනතුරුව 24 වැනි විනාඩියේදී තේනුක නානායක්කාර ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් තරින්ද, ඉන් නොනැවතී 31 වැනි විනාඩියේදී තමන් විසින්ම වාර්තා කරන ලද උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ විය. 

පළමු අර්ධය අවසන් වීමට විනාඩි 4 ක් ඉතිරිව තිබියදී (36 වැනි විනාඩියේදී) ක්‍රියාත්මක වූ දිනාල් ඒකනායක ශ්‍රී ලංකා වෙනුවෙන් පස්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද තරින්ද රත්වත්තේ විසිනි. ඒ අනුව පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු තත්වය 31-00 ක් ලෙස සටහන් විය. 

දෙවැනි අර්ධයේ ආරම්භක විනාඩියේදීම (41 වැනි) තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට හේෂාන් ජැන්සන් සමත් වූ අතර එයද තරින්ද රත්වත්තේ විසින් ගෝල දිනුමක් බවට පත්කරනු ලැබීය. එම ගෝල දිනුමත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්වය 38 ක් ලෙස ඉහළ ගියේය.  

කසකස්ථානය වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට නායක මගමෙඩ්‍රසුල් මගොමෙඩොව් සමත් වූයේ තරගයේ 59 වැනි විනාඩියේදීය. එහි ප්‍රවරථනය සාර්ථක කරගත් ඇබ්ඩ්‍රක්මන් නසිබයෙව් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ දැමුවේය. 

තරගයේ 61 වැනි විනාඩියේදී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයකු නීති විරෝධී ලෙස බිම හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක රවීන් ද සිල්වා විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පතක් ලබා තාවකාලිකව පිටියෙන් ඉවත්ව ගියේය. 

තරගය නිමා වීමට විනාඩි 5 ක් ඉතිරිව තිබියදී එනම් 75 වැනි විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත් සිල්වා අවසන් උත්සාහක දිනුම වාර්තා කළ අතර තරින්ද රත්වත්තේ ඒ වන විට පිටියෙන් ඉවත්ව සිටීම හේතුවෙන් එහි ප්‍රවර්ථන සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ නෙත්මණ විසිනි. 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

පළමු කොටසේ ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.