Last Update  :  2024-05-19 17:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 ලෝක කුසලානයට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 ලෝක කුසලානයට

editorial - 2024 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

ඒ සමගම මෙම වසරේ ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමටද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. කෙසේ වුවත් එහිදී ඔවුන් තරගවදින කාණ්ඩය කුමක් දැයි යන්න මෙම තරගාවලියේ අවසන් මහ තරගයෙන් අනතුරුව තීරණය වනු ඇත. 

ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (7 වැනිද) පස්වරු 9.00 ට ආරම්භ වන එම අවසන් මහ තරගය ජයගන්නා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියන් ලෙසත්, පරාජයට පත්වන කණ්ඩායම එහි අනු ශූරියන් ලෙසත් මෙවර කාන්තා විස්සයි-20 තරගාවලියට සුදුසුකම් ලබනු ඇත. 

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වුව හොත් ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්ථානය සමගින් ‘ඒ’ කාණ්ඩය යටතේද, එහි අනු ශූරියන් බවට පත්වුව හොත් එංගලන්තය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමගින් ‘බී’ කාණ්ඩය යටතේද ශ්‍රී ලංකාවට තරග වැදීමට සිදුවනු ඇත. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 149 ක් ලබාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී විෂ්මි ගුණරත්න පන්දු 44 කින් ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

හර්ෂිතා සමරවික්‍රම පන්දු 27 කදී හතරේ පහරක් සමග ලකුණු 24 ක්ද, නායිකා චමරි අතපත්තු පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කළ අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 10 කට මුහුණදුන් නිලක්ෂි ද සිල්වා හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාව ආසන්නයටම ගෙන ගියාය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. ආරම්භක පිතිකාරිණී ඒෂා ඕෂා පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 66 ක් රැස්කළද, ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය. 


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 149 
(විෂ්මි ගුණරත්න 45, හර්ෂිතා සමරවික්‍රම 24, චමරි අතපත්තු 21, නිලක්ෂි ද සිල්වා 18, කවිෂා දිල්හාරි 17, හසිනි පෙරේරා 15, ඒෂා ඕසා 27/2, වයිෂ්නවී මහේෂ් 33/2) 

එක්සත් අරාබි එමීර් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 134 
(ඒෂා ඕසා 66, කුෂී ශර්මා 22, කවිෂා එගොඩගේ 16, චමරි අතපත්තු 28/2) 

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විස්සයි-20 ලෝක කුසලානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.