Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පොලිසිය වසර 33 කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන දිනයි
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

පොලිසිය වසර 33 කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන දිනයි

editorial - 2024 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ ‘ක්ලිෆර්ඩ් කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පොලිසිය සමත් විය. කොළඹ 7, රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අවසන් මහ තරගයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 19-12 ක ජයක් වාර්තා කරමින් පොලිස් ක්‍රීඩකයෝ වසර 33 කට පසුව එම ශූරතාවට හිමිකම් කීහ. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 05-00 ක් ලෙස පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 14 ක් ලබා ගත් අතර හැව්ලොක් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. පොලිසිය ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින්ද, හැව්ලොක් කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගද එහිදී ලකුණු රැස්කළේය. 

පොලිස් කණ්ඩායම වෙනුවෙන් හිරන්ත පෙරේරා 34 වැනි විනාඩියේදීද, ශානක හරිෂ්චන්ද්‍ර 67 වැනි විනාඩියේදීද, සමීර ජයසිංහ 75 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ප්‍රින්ස් චාමරද, තෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට ෂේන් හෝවුඩ්ද සමත් වූහ. 

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ මුෂීන් ෆලීල් 72 වැනි විනාඩියේදීත්, ජයතු රාජරත්න 79 වැනි විනාඩියේදීත් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගනු ලැබුවේ සැමුවෙල් මධුවන්ත විසිනි. පොලිස් කණ්ඩායමේ යොමාල් සාරංග 57 වැනි විනාඩියේදීද, හැව්ලොක් කණ්ඩායමේ සෙනාල් දීලක 53 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබූහ. 

අවසන් පූර්ව වටයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 40-16 ක ජයක් වාර්තා කරමින් පොලිසිය අවසන් මහ තරගයට පිවිසි අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය අවසන් තරගයට පිවිසියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 37-27 ක ජයක් වාර්තා කරමිනි. මෙවර තරගාවලියේදී හැව්ලොක් කණ්ඩායම අස්මිර් ෆාජුඩීන් විසින්ද, පොලිස් කණ්ඩායම මොහාන් විමලරත්න විසින්ද මෙහෙයවනු ලැබිණ. සාලිය කුමාර මහතා හැව්ලොක් කණ්ඩායමේත්, නිල්ෆර් ඊබ්‍රහීම් මහතා පොලිස් කණ්ඩායමේත්  පුහුණුකරුවෝ ලෙස කටයුතු කළහ.  


අදහස් (0)

පොලිසිය වසර 33 කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.