Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු ආසියාවේ දීර්ඝතම පාපැදි සවාරිය දින පහක්

දකුණු ආසියාවේ දීර්ඝතම පාපැදි සවාරිය දින පහක්

editorial - 2024 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන පහකට වැඩි ත්‍යාග මුදලක් බෙදා දෙන දකුණු ආසියාවේ දීර්ඝතම පාපැදි තරගය ලෙස සැළකෙන ගුවන් හමුදා පාපැදි (පිරිමි-කාන්තා) සවාරිය (2024) හෙට (3) පෙරවරු 8.40 ට කොළඹ ගාලුමුවදොර පිටිය අසළින් ගමන් අරඹයි.

25 වැනි වතාවටත් සංවිධානය කිරීමේ දී මෙවර දින පහක් පුරා කොළඹ, මහනුවර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව හරහා යාපනය දක්වා ගමන් ගන්නා ගුවන් හමුදා පාපැදි සවාරියේ මුළු දුර කිලෝමීටර් 654 ක් තරම් ඉහළම අගයක් ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී තරගකරුවන් (වයස 23 න් පහළ හා සුපිරි කාණ්ඩ) 180 දෙනෙකු පමණ මෙවර තරගාවලියට සහභාගීවීමට අපේක්ෂාවෙන් පසුවේ.

මෙවර පිරිමි සමස්ත ඉසව්වේ ශූරයාට රුපියල් ලක්ෂ පහක් ද හා මාන්කුලම් සිට යාපනය දක්වා දිවෙන කිලෝමීටර් 98 ක් දුරැති කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවට රුපියල්  125000 ක්ද ප්‍රදානය කෙරෙති.

අදියර පහකින් සංවිධානය කෙරෙන පිරිමි තරගයේ අදියර ජයග්‍රාහකයන් ඇතුළුව විශේෂ කුසලතා සඳහා ධාවකයන්ට ප්‍රදානය කෙරෙන මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන පහකට වැඩිය.

ඒ අතර තරගයේ රැඳී සිටින තරගකරුවන් ඇතුළුව කණ්ඩායම් කළමනාකරුවන්ට දෛනිකව ගෙවීම් ද සිදු කෙරේ.

මෙවර තෙවැනි වතාවටත් මෙම දීර්ඝතම පාපැදි සවාරියේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලීන් අධිකාරිආරච්චිගේ මහතාය. කේ.ඒ. පත්මලාල් මහතා ප්‍රධාන තරග කොමසාරිස් ලෙස කටයුතු කරන අතර ඔහුගේ සහයට සහය කොමසාරිස්වරුන්, විනිසුරුවන් හා තීරකවරුන්ගෙන් සමන්විත 20 දෙනෙකුගේ ප්‍රධාන විනිසුරු කාර්ය මණ්‍ඩලයක් කටයුතු කරයි.

මේ අතර මෙම පාපැදි සවාරියේ ගුණාත්මකභාවය හා ජීව ගුණය වඩාත් තහවුරුකර ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් සේවයට යොදවා ඇතැයි පාපැදි සම්මේලනය පවසයි.

විශේෂයෙන්ම ඇතැම් ක්‍රීඩකයන් සැළසුම් සහගතව ධාවනයේ යෙදෙමින් කෘතිමව තරග ස්ථානවලට පත්වීමේ ක්‍රියාදාමයන් වැළැක්වීම මෙහි අරමුණයි.

ඒ අතර තහනම් උත්තේජක භාවිතා කරමින් තරග වදින්නන් සම්බන්ධයෙන් මෙවර තරගයේ දී දැඩි ලෙස ක්‍රියාත්මක වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ලබයි.

තරගයේ සමස්ත ජයග්‍රාහකයා සඳහා කහ කමිසය ද ස්ප්‍රින්ට් (වේගවත්ම) ධාවකයාට කොළ කමිසය ද කඳු තරණයේ දක්ෂතම ක්‍රීඩකයාට රතු බිංදු කමිසය ද හා දක්ෂතම යොවුන් (වයස 23 න් පහළ) ක්‍රීඩකයාට සුදු ජර්සිය ද පෙර දින තරග අදියර අවසානයේ ප්‍රතිඵලයක් මත පිරිනැමෙනු ඇත.

එකම ක්‍රීඩකයකු එකවර කමිස දෙකක් හිමිකර ගන්නා අවස්ථාවක්  වෙතොත් එහිදී වඩාත්ම වටිනා කමිසය පැළඳ ධාවනයේ යෙදීමට එවැනි ක්‍රීඩකයකුට අවස්ථාව හිමිවේ.

වසර 2023 පැවැති 24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි ඉසව්වේ සමස්ත ජයග්‍රාහකයා වූයේ යුද හමුදා ක්‍රීඩක චන්දන දයානන්ද ය. යුද හමුදා ක්‍රීඩිකා දිනේෂා දිල්රුක්ෂි 2023 කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවයි.

මාර්තු 3 වැනිදා ගාලුමුවදොර පිටියෙන් තරගය ආරම්භ කළත් එහි නිල ආරම්භය සටහන් වන්නේ කැලණිය ගුවන් පාලම අසළට ළඟාවීමෙන් අනතුරුවය.

ජය සංකේත ප්‍රදානය මාර්තු 7 වැනිදා පස්වරු 5 ට යාපනය ‘මුතුවේලි’ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

 

25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය පැවැත්වෙන ආකාරය

(පිරිමි ඉසව්ව – මුළු දුර කිලෝමීටර 654)

මාර්තු 3 – අදියර – 1 කොළඹ සිට නිට්ටඹුව, වේවැල්දෙණිය – කෑගල්ල – කඩුගන්නාව හරහා ගන්නොරුව දක්වා (කිලෝ මීටර 104.3) තරග ආරම්භය පෙරවරු 8.40)

මාර්තු 4 – අදියර – 2 මහනුවර (ගන්නෝරුව සිට අකුරණ – මාතලේ - හබරණ – පොළොන්නරුව හරහා කදුරුවෙල නගරය දක්වා (කිලෝ මීටර් 137.2) තරග ආරම්භය පෙරවරු 8.30

මාර්තු 5 – අදියර 3 – කදුරුවෙල (පොළොන්නරුව) සිට මින්නේරිය – හබරණ – අග්බෝපුර – කන්තලේ - අභයපුර හරහා ත්‍රිකුණාමල වෙරළ තීරය දක්වා (කිලෝමීටර – 125.7) තරග ආරම්භය පෙරවරු 8.30)

මාර්තු 6 – අදියර 4 – ත්‍රිකුණාමලය සිට මොරවැව – හොරොව්පතාන – රඹෑව – මැදවච්චිය – පූනෑව – ඉරට්ටපෙරියකුලම් හරහා වවුනියාව (ගුවන්හමුදා කඳවුර) දක්වා (කිලෝ මීටර් 139.4) තරග ආරම්භය පෙරවරු 8.30)

මාර්තු 7 – අදියර 5 (අවසන්) – වවුනියාව – පුලියන්කුලම – මාන්කුලම් - කිලිනොච්චිය – අලිමංකඩ – පලෙයි -  චාවකච්චේරිය හරහා යාපනය දොරෙයි අප්පා ක්‍රීඩාංගණය අසළට – (කිලෝ මීටර් 147.4) තරග ආරම්භය පෙරවරු 8.30

 

(කාන්තා ඉසව්ව - දුර කිලෝමීටර්  98)

මාර්තු 7 – මාන්කුලම සිට කොකාවිල් - කිළිනොච්චි - අලිමංකඩ – පලෙයි - මුහාමලේ - චාවකච්චේරිය – බැස්ටියන් හංදිය හරහා යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය අසලින් නිමාව. තරග ආරම්භය පෙරවරු 7.30)

ගුවන් හමුදා පාපැදි සවාරියේ මාධ්‍ය හමුවට සහභාගි වූ පාපැදි සම්මේලනයේ ලේකම් නලීන් අධිකාරි ආරච්චිගේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ සභාපති එයාර්වයිස් මාෂල් ලසිත් සුමනවීර සහ එහි ලේකම් ගෘෘප් කපිතාන් රංග පෙරේරා යන මහත්වරුන් ඇතුළු අනුග්‍රාහක ආයතන නියෝජිතයින්... 


අදහස් (0)

දකුණු ආසියාවේ දීර්ඝතම පාපැදි සවාරිය දින පහක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.