Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ද. කොරියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී ගැටෙති
ආසියානු සත් සමාජික රග්බි

ද. කොරියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී ගැටෙති

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ මූලික වටයේදී ජයග්‍රහණ දෙකක් ලබමින් කුසලාන ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (12 වැනිදා) සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (13 වැනිදා) පෙරවරු 9.15 ට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී දකුණු කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය.

‍දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර නම්දොන් ඒෂියාඩ් රග්බි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, සහභාගි වූ පළමු තරගයේදීම හොං කොං කණ්ඩායම හමුවේ 40-00 ක දරුණු පරාජයක් ලැබීය. කෙසේ වුවත් ඉන් අනතුරුව පැවැති තරගවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 26-14 ක් ලෙසද, චීනයට එරෙහිව ලකුණු 21-19 ක් ලෙසද ජය වාර්තා කරමින් ශ්‍රී ලංකාව තරගාවලියේ මුල් කණ්ඩායම් 4 අතරට එක් විය.

කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වට‍ය අවසානයේ ‘එ්’ සහ ‘බී’ යන කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්න කණ්ඩයම් 4 කුසලාන ශූරතාව සඳහාද, එම කාණ්ඩවල තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් පළඟ ශූරතාව සඳහාද තරග වදිනු ඇත.

ජයග්‍රහණ 3 ක් ලබමින් හොං කොං කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ ‍පළමු වැනියා ලෙස කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී, ශ්‍රී ලංකාව කුසලාන අවසන් පූර්ව වටයට පිවි‍සියේ ජයග්‍රහණ දෙකක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි. ජයග්‍රහණ 3 ක් ලැබූ දකුණු කොරියාව ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙසත්, ජයග්‍රහණ 2 ක් ලැබූ පිලිපීනය ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙසත් කුසලාන අවසන් පූර්ව වටයට පිවිසියේය.

අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා අතරත්, ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘එ්’ කාණ්ඩයේ දෙවැනියා අතරත්ය. ඒ අනුව අවසන් පූර්ව වටයේ තරගවලදී හොං කොං කණ්ඩායමට එරෙහිව පිලිපීනයත්, දකුණු කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාවත් තරග බිමට පිවිසෙනු ඇත.

පළමු දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර කියා සිටියේ තරගාවලියට සහභාගි වීමට පෙර සිටම තම කණ්ඩායමේ අරමුණ වී තිබුණේ පළමු ස්ථාන 4 අතරට පැමිණීම බවත්, මේ වන විට ඔවුන් එම අරමුණ සාක්ෂාත් කරගෙන සිටින බවත්ය.

“ඇත්තටම අපිට ඕන වුණේ කොහොම හරි මේ තරගාවලියේ පළමු කණ්ඩායම් 4 ට එකතු වෙන්න. ඒත් අපි බලාපොරොත්තු වුණ දේවල් හොං කොං තරගයෙදි අපිට කරන්න බැරි වුණා. හැබැයි ඒ පරාජය ශක්තියක් කරගෙන නැවත නැගී සිටින්න අපිට පුළුවන් වුණා. එක්සත් අරාබි එමීර්ට සහ චීනයට එරෙහිව පැවැති තරගවලදී කණ්ඩායමක් විදියට අපි හුඟක් හොඳින් ක්‍රීඩා කළා කියලා මම හිතනවා.” යැයිද ශ්‍රී ලංකා නායකයා කියා සිටියේය.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් පිළිබඳ අදහස් දක්වමින් සූරියබණ්ඩාර පැවැසූවේ මූළික වටයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව තම කණ්ඩායම ‍වඩාත් අවදානයෙන් පසුවූ බවත්, නවාතැන් ගෙන සිටින හෝටලයට යෑමෙන් අනතුරුව විඩීයෝ දර්ශන නැරඹීම තුළින් ඒ පිළිබඳ වැඩි දුරටත් අධ්‍යනය කරන බවත්ය.

“කොරියාව කියන්නෙ හුඟක් හොඳ කණ්ඩායමක්. ඒත් අපි උපරිම උත්සහ කරන්නෙ අවසන් පූර්ව වටයෙදි ‍ඔවුන්ව පරාජය කරලා අවසන් තරගයට සුදුසුකම් ලබාගන්න. මොකද අපි මෙම තරගාවලියෙදි ලඟා වෙලා තියෙන ඉහළම ස්ථානය තමයි දෙවැනි ස්ථානය. මේ වතාවෙදි අපිට ඒක වෙනස් කරන්න අවශ්‍යයි. ඒ සඳහා ක්‍රීඩකයෝ හැමෝම හොඳ ශාරීරික‍ මෙන්ම මානසික මට්ටමක ඉන්නවා.” යැයිද එහිදී ඔහු කියා සිටියේය.

චීනයට එරෙහිව පැවැති තීර්ණාත්මක තරගයේදීද උත්සාහක දිනුම් ලබාගැනීමට නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ තරින්ද රත්වත්තේ සමත් වූ අතර එහිදී අදීෂ වීරතුංගද ඔවුන් සමග එක් විය. එහිදී තමන් ලබාගත් උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් ශ්‍රීනාත් සහ තරින්ද විසින්ම සාර්ථක කරගනු ලැබූ අතර අදීෂගේ උත්සාහක දිනුම ගෝල දිනුමක් බවට පත්‍කරනු ලැබුවේ මිතුන් හපුගොඩ විසිනි.


අදහස් (0)

ද. කොරියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේදී ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.