
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ජැමී සිඩන්ස් මහතා පත් කර ඇත. වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන මෙම පත්වීම මේ මස 16 වැනිදා සිට ආරම්භ වේ. 2007 සිට 2011 දක්වා බංග්ලාදේශ ජාතික (පිරිමි) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස සේවය කර ඇති ජැමී සිඩන්ස් මහතා ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුහුණුකරුවෙකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා පත්කෙරෙන පළමුවැනි විදේශීය පුහුණුකරුවා ජැමී සිඩන්ස් මහතාය. මෙතෙක් කලක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරය හොබවන ලද්දේ ශ්‍රී ලාංකිකයන් විසිනි.
පුහුණුකරුවන්ගේ සහතික ක්‍රමය අනුව III වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන ජැමී සිඩන්ස් මහතා වසර 2011 සිට 2015 දක්වා නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. පසුව 2015 සිට 2020 දක්වා දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ (රෙඩ්බැක්ස්) ප්‍රධාන පුහුණුකරු ලෙසද සේවය කළේය.
‘දකුණු ඕස්ට්‍රේලියානු ’ සහ ‘වික්ටෝරියා’ යන කණ්ඩායම් දෙකෙහිම නායකයා ලෙසින් කටයුතු කරමින් ඕස්ට්‍රේලියාවේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා ද සිඩන්ස් මහතා සහභාගි වී තිබේ.
ඔහුගේ පළමු පැවරුම අප්‍රේල්- - මැයි මාසවලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයයි. ඉන් පසුව ජුනි මාසයේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පුහුණු කරවීමේ වගකීම සිඩන්ස් මහතා වෙත පැවරෙයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වන රුමේෂ් රත්නායක මහතා වෙනුවට ජැමී සිඩන්ස් මහතා පත්කර තිබේ.
මේ මීට දින කිහිපයකට පෙර බටහිර ඉන්දීය දූපත් සමූහයේදී නිමාවූ එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකේදීම රුමේෂ් රත්නායක මහතාගේ ගුරුහරුකම් යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරාජය කරමින් ජයගත්හ. එක්දින තරගාවලියේදී 2-1 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි-20 තරගාවලියේදී 2-0 ක ජයක් අත්කර ගත්තේය.
මෙම ජයග්‍රහණ සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයටත්, විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 07 වැනි ස්ථානයටත් පැමිණ සිටී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.