Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට දැවැන්ත ජයක්
යොවුන් ආසියානු කුසලාන - 2025

ඉන්දියාවට දැවැන්ත ජයක්

editorial - 2025 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් එක්දින වාර්තා පොත අලුත් ඉසව්වකට ඇදගෙන ගිය 14 හැවිරිදි ඉන්දීය පිතිකරු වෛභාව් සූර්යවංශි එක්සත් අරාබි එමීර් (ඩුබායි) රාජ්‍යයේදී අද (12 වැනිදා) ආරම්භ වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම ලකුණු 234 ක දැවැන්ත ජයක් කරා යාමට ඉන්දීය පිලට මඟ පාදා දුන්නේය.  

යොවුන් එක්දින තරග ඉතිහාසයේ ඉහළම ඉලක්කය වූ ලකුණු 434 ක් කරා යාමේදී ලකුණු 53 කට කඩුලු 6 ක් බිඳ වැටුණ නමත් ඩුබායි පිතිකරුවෝ ධෛර්ය සම්පන්නව තරගයට මුහුණ දුන්හ. ඕවර 14 ක් ඇතුළත කඩුලු 6 ක් බිඳ වැටී සිටියදීත් ඉතිරි ඕවර 36 තුළදී ලකුණු 146 ක් ලබාගත් ඩුබායි කණ්ඩායම වෙනුවෙන් ප්‍රිත්වි මධූ ලකුණු 50 ක් ලබාගත් බැවින් ඩුබායි ක්‍රීඩකයෝ ඕවර 50 නිමාවන විට කඩුලු 7 කට ලකුණු 199 ක් ලබා සිටියහ. 

ප්‍රිත්වි මධූ සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගො නැංවූ උද්දිෂ් සූරි (නොදැවී 78) අංක 9 පිතිකරු සලේ අමීන් සමගින් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් ද එකතු කළේය. 

කෙසේ වෙතත් තරගයේ දිස්නය තිබුණේ ඉන්දීය පිතිහරඹයේදීය. 

පන්දු 95 කින් ලකුණු 171 ක් ලබාගත් වෛභාව් සූර්යවංශි කළ ප්‍රචණ්ඩ පිතිහරඹය නිසා ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 කදී කඩුලු 6 කට ලකුණු 433 ක් ලබාගත්හ. 

සූර්යවංශිගේ ඉනිමට හයේ පහර 14 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර එය යොවුන් එක්දින තරගයකදී පිතිකරුවකු ගැසූ වැඩිම හයේ පහර සංඛ්‍යාව විය. මීට පෙර යොවුන් එක්දින තරගයකදී පිතිකරුවකුගෙන් වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව වූයේ 2008 දී ඕස්ටේ්‍රලියානු පිලේ මයිකල් හිල් නැමීබියාව හමුවේ ගැසූ හයේ පහර 12 යි. 

වසර 2002 දී යොවුන් එක්දින තරගයකදී තවත් ඕස්ටේ්‍රලියානුවකු වූ ක්‍රෙග් සිමන්ස් (කෙන්යාවට එරෙහිව) හයේ පහර 11 ක් ද 2024 දී පාකිස්තානයේ ශාෂිබ් ඛාන් (ඉන්දියාවට එරෙහිව) හයේ පහර 10 ක් ද තම ඉනිමට ඇතුළත් කර තිබිණ. 

කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යොවුන් නායකයාට සූර්යවංශි පිළිබඳව කිසිදු මතකයක් නොතිබුණාට සැකයක් නැත. ඉන්දීය සම්භවයක් තිබෙන නමුත් සූර්යවංශි ගැන නොදත් එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ යොවුන් නායකයා, පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 

ප්‍රතිඵලය වූයේ ඉන්දීය ආරම්භක පිතිකරුවා, පන්දු 30 කදී සිය අර්ධ ශතකයත්, පන්දු 56 කදී සිය ශතකයත් සම්පූර්ණ කිරීමයි. දැවැන්ත හයේ පහර වරුසාවකින් ආරාබි අහස අලංකාර කළ සූර්යවංශි, කිසිදු ආයාසයකින් තොරවම, සිය ඉනිම පුරා 14 වතාවක් පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවීය. ලකුණු 150 සීමාව පසුකර යාමට මේ වමත්කාරයට අවශ්‍ය වූයේ පන්දු 84 කි. 

වසර 2017 දී ඇෆ්ඝනිස්තානු පිතිකරු ඩාවිශ් රසූලි (හයේ පහර 10) තබූ වාර්තාව තමන් සතුකරගත් සූර්යවංශිගේ පිතිහරඹය දෙවැනි වන්නේ 2002 දී ඉන්දීය 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයට එරෙහිව ලකුණු 177 ක් ලබාගත් අම්බටි රයියදුගේ පිතිහරඹයට පමණි. තවමත් 14 හැවිරිදි සූර්යවංශි, යොවුන් එක්දින තරග වලදී හයේ පහර 50 ක් හිමි මේ වන විට ලොව සිටින එකම පිතිකරුවාය. 

වෛභාව් සූර්යවංශි යනු හුදු ‘පොල් අඩි’ කාරයෙක් නොවේ. 

යි.පී.එල්. තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිල නියෝජනය කරමින් කරළියට පැමිණි සූර්යවංශි, ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතිවලදී හොඳින් දස්කම් දක්වන පිතිකරුවෙකි. මේ වසරේදී පැවැති සෙයිඩ් මුස්තාක් අලී කුසලාන තරගාවලියේදී විස්සයි-20 ශතක තුනකටම හිමිකම් කී සූර්යවංශි, පසුගිය මාසයේදී ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති විස්සයි-20 තරගයකදී පන්දු 42 කින් ලකුණු 144 ක් ලබාගත්තේය. 


ඉන්දීය යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 6 ට 433 යි
(වෛභාව් සූර්යවංශි 171, ඒරන් ජෝජ් 69, විහාන් මල්හොත්‍රා 69, වේදාන්ත් ත්‍රිවේදි 38, අභිගයාන් කුන්දු නොදැවී 32, කනිෂ්ක් චෞහාන් 28, යුග් ෂර්මා 75/2, උදිෂ් සූරි 77/2)

එක්සත් අරාබි එමීර් (ඩුබායි) - ඕවර 50 කදී කඩුලු 9 ට 199 යි
(යයින් කිරන් රායි 17, මුහමද් රයාන් 19, ප්‍රිත්වි මධූ 50, උද්දිශ් සූරි නොදැවී 78, සලේ අමීන් නොදැවී 20, දීපේෂ් දේවේන්ද්‍රන් 21/2)

- 213

 


අදහස් (0)

ඉන්දියාවට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.