Last Update  :  2026-02-19 23:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානයට සැනසුම් සහගත ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

ඇෆ්ඝනිස්ථානයට සැනසුම් සහගත ජයක්

editorial - 2026 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ අද (19 වැනිදා) චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරගයේදී කැනඩාවට එරෙහිව ලකුණු 82 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. මෙම තරගය ජයගත්තද ඒ වන විටත් ඇෆ්ඝනිස්ථානය තරගාවලියෙන් ඉවතට විසිවී තිබීම හේතුවෙන් මෙය හුදෙක් සැනසුම් සහගත ජයක් පමණක් විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹා ගිය කැනඩාවට මොහොමඩ් නබී ප්‍රමුඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 118 ක් පමණි. එහිදී නබී ඕවර 4 ක් යවමින් ලකුණු 07 කට කඩුලු 4 ක් බිඳහෙළූ අතර නායක රෂීඩ් ඛාන් ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කැනඩා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හර්ෂ් තාකේර් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර සාද් බින් සෆාර් පන්දු 26 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් ලබාගත් යුව්රාජ් ශර්මා මෙම තරගයේදී ලකුණු 17 කට දැවී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 4 ක දැවී ලකුණු 200 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නි‍රත වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 56 කින් නොදැවී ලකුණු 95 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. සෙදිකුල්ලා අතාල් (44) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සද්‍රාන් සමත් විය.

පන්දු 32 කදී වාර්තා වූ අතාල්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස්  හතරේ පහර 5 ක් සමග පන්දු 20 කින් ලකුණු 30 රැස්කරමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. කැනඩා කණ්ඩායම වෙනුවෙන් ජස්කරන් සිං ලකුණු 52 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 200
(රහ්මනුල්ලා ගුර්බාස් 30, ඊබ්‍රහීම් සද්‍රාන් ‍නොදැවී 95, සෙදිකුල්ලා අතාල් 44, ජස්කරන් සිං 52/3) 

කැනඩාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 118   
(යුව්රාජ් ශර්මා 17, හර්ෂ් ‍තාකේර් 30, සාද් බින් සෆාර් 28, මොහොමඩ් නබී 07/4, රෂීඩ් ඛාන් 19/2) 

-036 


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයට සැනසුම් සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.