Last Update  :  2026-02-15 23:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ විස්සයි-20 ආධිපත්‍ය පෙන්වති
විස්සයි-20 ලෝක කුසලාන

ඉන්දියානුවෝ විස්සයි-20 ආධිපත්‍ය පෙන්වති

editorial - 2026 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

පිට පිටම හයවැනි වතාවටත් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී පාකිස්තානුවන් පරාජය කළ ඉන්දියානුවෝ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් සතු ආධිපත්‍යය මොනවට පැහැදිළි කළහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලබාගත් ලකුණු 61 ක ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගත් ඉන්දියාව  සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. 

ඉන්දියානුවන් කඩුලු 7 ක් දැවී ලබාගත් ලකුණු 175 ට පිළිතුරු ලෙසින් පාකිස්තානුවෝ ඕවර 18 කදී ලකුණු 114 කට දැවී ගියහ. 

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වූ තරග තුනම ජයගනිමින්, ඉන්දියානුවන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ +3.050 ක ශුද්ධ ලකුණු වේගයක් ද රඳවාගනිමිනි. අද තරගයේදී ඉන්දියානුවන් ලබාගත් ජය පාකිස්තානය හමුවේ ඔවුන්ගේ විශාලතම විස්සයි-20 ජයග්‍රහණය ද විය. 

වසර 2007 ලෝක කුසලාන තරගාවලියේ සිට, ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති විස්සය්ි - 20 අන්තර්ජාතික තරග 17 න් තරග 14 ක ජය ඉන්දියාවට හිමිවී ඇති අතර පාකිස්තානය තරග 3 ක් පමණක් ජයගෙන තිබේ. 

පාකිස්තානු කණ්ඩායමක් අවසන් වරට විස්සයි-20 තරගයකදී ඉන්දියාව පරාජය කළේ වසර 2022 සැප්තැම්බර් මාසයේදී ඩුබායි නුවරදී පැවැති ආසියානු කුසලාන තරගයේදීය. වසර හතරකට ඉහතදී ලබාගත් කඩුලු 5 ක ජයෙන් පසුව පාකිස්තානුවෝ ඉන්දියාව හමුවන සෑම අවස්ථාවකදීම මහත් සේ අසරණ වූහ. 

අද තරගයේදී කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක සල්මන් අඝා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඉන්දියානුවන්ගේ විශාලතම බලාපොරොත්තුව වූ අභිෂේක් ෂර්මා පළමු ඕවරයේදීම ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් දැවී ගිය කඩුල්ල තඹයකට මායිම් නොකළ ඉෂාන් කිෂන් අති ප්‍රචණ්ඩකාරී  පිතිහරඹයක නිරත වෙමින් පන්දු 40 කදී ලකුණු 77 ක් ලබාගත්තේ ඉනිමේ ප්‍රවේශයේදී (ඕවර 1-06) යාර 30 වළල්ල ඇතුළත සිටින ක්‍රීඩකයන්ගේ හිසට ඉහළින් පන්දුව යවමිනි. 
මුහුණ දුන් පළමු පන්දුවම ඩීප් ස්ක්වෙයාර් කලාපයට ඉහළින් නරඹන්නන් අතරට යැවූ ඉෂාන් කිෂන්, හතරේ පහර 10 කින් සහ දැවැන්ත හයේ පහර 3 කින් සිය ඉනිම හැඩවැඩ කළේය. 9 වැනි ඕවරයේදී කිෂන් දැවීයාමට පෙර ලකුණු පුවරුව  කියැවුණේ කඩුලු 1 ට 88 ක් ලෙසිනි. 

කෙසේ වෙතත් ඉනිමේ මැද කොටසේදී පාකිස්තානු දඟ පන්දු යවන්නෝ ඉන්දීය ලකුණු ප්‍රවාහය පාලනය කරගැනීමට සමත් වූහ. 

දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය ප්‍රේමදාස තණතීරුවේදී සයිම් අයුබ් (25/3), මොහොමඩ් නවාස් (28/0) සහ උස්මන් තරීක් (24/1) තිදෙනා තමන්ගේ ඕවර 12 ලකුණු 77 කට සීමාකරගත් බැවින් ඉන්දියානුවන් අපේක්‍ෂා කළ ඉසව්වට යාගත නොහැකි විය. එහෙත් හයේ - හතරේ පහර වලින් නම් ඉන්දියාවට අඩුවක් තිබුණේ නැත. ඉන්දීය ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 19 කින් සමන්විත විය. 

ප්‍රේමදාස තණතීරුව වේග පන්දු යවන්නන්ට කෙතරම් භයංකාර වූයේද යත් ඉන්දීය ඉනිම පුරාම වේග පන්දුවෙන් යැවුණේ ඕවර 2 කි. ශහීන් ෂා අෆ්රීඩිගෙන් එම ඕවර දෙකේදී ලකුණු 31 ක් උදුරා ගැනිණ. 

ලකුණු 176 ක ඉලක්කයක් කරා යාමට තිබුණ නමුත් පන්දු 29 කදී ලකුණු 34 ක් ඇතුළත පාකිස්තානු පිතිකරුවෝ සිව් දෙනෙක් දැවී ගියහ. සහිබඩ්සා ෆර්හාන්, සයිම් අයුම්, සල්මන් අඝා මෙන්ම බාබර් අසාම් ද දැවී ගියේ ඉතාමත් දුර්වල පහර තේරීමෙනි. 

උස්මන් ඛාන් (44) සහ ශදාබ් ඛාන් එක්ව ලකුණු සංඛ්‍යාව 73 දක්වා තල්ලු කළ නමුත් ඉන්දීය දඟ පන්දු යවන්නන් තරගයට බැසීමත් සමගින් අවසන් කඩුලු හයම ලකුණු 41 ක් ඇතුළත ඇද වැටිණ. 


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 ට 175 යි
(ඉෂාන් කිෂන් 77, තිලක් වර්මා 25, සූර්යකුමාර් යාදව් 32, ෂිවම් ඩුබේ 27, රින්කු සිං නොදැවී 11, සයිම් අයුබ් 25/3)

පාකිස්තානය - ඕවර 18 කදී සියලු දෙනා දැවී 114 යි
(උස්මන් ඛාන් 44, ශදාබ් ඛාන් 14, ෆාහිම් අශ්රෆ් 10, ශහීන් ෂා අෆ්රීඩි නොදැවී 23, හර්දික් පාණ්ඩ්‍යා 16/2, ජස්ප්‍රීට් බුම්රා 17/2, අක්ෂර් පතෙල් 29/2, වරුන් චක්‍රවර්ති 17/2) 


අදහස් (0)

ඉන්දියානුවෝ විස්සයි-20 ආධිපත්‍ය පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.