Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවිෂ්කගේ ශතකය එස්.එස්.සී. අවසන් තරගයට රැගෙන යයි
අන්තර් සමාජ පළමු පෙළ

අවිෂ්කගේ ශතකය එස්.එස්.සී. අවසන් තරගයට රැගෙන යයි

editorial - 2024 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. ඒ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කරමිනි.  

ජයග්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී. ක්‍රීඩකයෝ ඕවර 47 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 138 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 125 ක් රැස්කරමින් එස්.එස්.සී. කණ්ඩයම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී ක්‍රිෂාන් සංජුල (58) සමග එක්ව එස්.එස්.සී. ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 168 කදී ලකුණු 150 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අවිෂ්ක සමත් වූ අතර පන්දු 80 කදී වාර්තා වූ සංජුලගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. 

ඉන් නොනැවතුණ අවිෂ්ක, සංජුලගේ දැවී යෑමෙන් අනතුරුව රනුද සෝමරත්න (නොදැවී 32) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 56 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 42 කට මුහුණදුන් සෝමරත්න, හයේ පහරකින් සිය කණ්ඩායම ජයග්‍රාහී සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කෝල්ට්ස් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 236 ක් ලබාගත් අතර කෝල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හෂාන් දුමිඳු පන්දු 96 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 63 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත පන්දු 49 කින් ලකුණු 40 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. 


කෝල්ට්ස් පිල ඕවර 50 කදී - කඩුලු 8 ක් දැවී 236 
(රවිඳු රසාන්ත 40, ෂෙරාන් ෆොන්සේකා 38, හෂාන් දමිඳු 63, මුදිත ලක්ෂාන් 36, ජෙහාන් ඩැනියෙල් 22, ධනුෂ්ක ගුණතිලක 24/2, චමිඳු වික්‍රමසිංහ 35/2, නුවනිඳු ප්‍රනාන්දු 39/2) 

එස්.එස්.සී. පිල ඕවර 47 කදී - කඩුලු 4 දැවී 240 
(අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 125, ක්‍රිෂාන් සංජුල 58, රනුද සෝමරත්න නොදැවී 32) 


අදහස් (0)

අවිෂ්කගේ ශතකය එස්.එස්.සී. අවසන් තරගයට රැගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.