Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අතුරු කමිටුවෙන් කළ මිලියන 18ක වියදම් ගැන විගණනයකට සැරසෙයි

අතුරු කමිටුවෙන් කළ මිලියන 18ක වියදම් ගැන විගණනයකට සැරසෙයි

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කරාටේ අතුරු කමිටුව ක්‍රියාත්මක වූ පසුගිය මාස හයක කාලයක් තුළදී රුපියල් මිලියන 18කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ ගිණුමෙන් වියදම් කර ඇතැයි නැවත බලය පිහිටුවූ එහි විධායක සභාව චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් පෙබරවාරි 12 වැනිදා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කැඳවා තිබෙන ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේදී සාකච්ඡා කෙරෙන බවත් එහිදී කරාටේ අතුරු කමිටුව එසේ වියදම්කර ඇතැයි පැවසෙන රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂයකට ආසන්න වන වියදම සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් සිදු කිරීමට යෝජනා සම්මත කර ගන්නා බවත් ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ ලේකම් කීර්ති බස්නායක මහතා ලංකාදීප යට පැවසීය.

ඔහු පවසන්නේ කරාටේ අතුරු කමිටුව විසින් එහිදී කරාටේ දෝ සම්මේලනයේ ප්‍රධාන ගිණුම් හා දිස්ත්‍රික් හා පළාත් අනු සංගම්හි ගිණුම් ද වියදම් සඳහා යොදා ගෙන ඇති බවයි. 

වත්මන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය ජනවාරි 21 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ක්ලෙමන්ට් ද සොයියා මහතා සභාපතිත්වය දැරූ සාමාජිකයන් නව දෙනකුගෙන් යුත් කරාටේ අතුරු කමිටුව අහෝසි කරමින් නැවත කරාටේ දෝ සම්මේලනයට පරිපාලන කටයුතු පැවරීය. 

වසර 2022 අගෝස්තු 30 වැනිදා පැවැති නිලවරණයෙන් බලයට පැමිණි ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ විධායක සභාව එවකට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ රොෂාන් රණසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වසර 2023 ජූලි 28 වැනිදා අත්හිටුවන ලදි.  ඒ වෙනුවට කටයුතු කිරීම සඳහා ඇමැතිවරයා විසින් ක්ලෙමන්ට් ද සොයියා මහතාගේ සහභාගීත්වයෙන් යුත් අතුරු කමිටුව පත් කරනු ලැබීය. 

කරාටේ දෝ සම්මේලය හරින් ප්‍රනාන්දු වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නැවත බලගැන්වීමත් සමග ලේකම් ධුරයට නැවත පත්වූ කීර්ති බස්නායක මහතා පැවසුවේ සිය විධායක සභාවේ නිල කාලය 2026 මැයි 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි. 

පෙබරවාරි 12 වැනිදා කැඳවනු ලබන විශේෂ මහ සභාවට කරාටේ දෝ සම්මේලනයේ 458ක් වන සාමාජික සංවිධාන සියල්ලම ඇරියුම් ලබා තිබේ. වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා කරාටේ දෝ සම්මේලනයේ අත්හිටුවා තිබූ විධායක සභාව නැවත බලගැන්වීමත් සමග සභාපති ධුරයට සිසිර කුමාර මහතා නැවත පත්ව සිටියි. 

මෙම ප්‍රශ්නය මුල් කරගනිමින් එතෙක් දකුණු ආසියානු කරාටේ සම්මේලනයේ සභාපති ධුරය දරමින් සිටි ඔහුට එයින් ඉල්ලා අස්වීමටද සිදුවිය. මේ අතර සිය පාලන කාලය අත්හිටුවීමට එරෙහිව ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ නැවත බලය පිහිටුවූ විධායක සභාව අභියාචනාධිකරණයේ පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගන්නා බව කීර්ති බස්නායක මහතා වැඩිදුරටත් පැවසීය. 


අදහස් (0)

අතුරු කමිටුවෙන් කළ මිලියන 18ක වියදම් ගැන විගණනයකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.