
(ශානුක අරවින්ද)
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්. සේනානායක’ අනුමස්රණ පළිහ වෙනුවෙන් 147 වැනි වරටත් පවත්වනු ලබන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අනිද්දා (12 වැනිදා) සිට 14 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඊට සමගාමීව දෙවිදුහල් අතර ‘මස්ටෑන්ග්’ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 49 වැනි වාර්ෂික එක්දින තරගය මෙම මස 28 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම දිවා-රාත්‍රී තරගයක් පැවැත්වීමට නියමිතය.
මෙම වසරේදී (2026) රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩාය නියෝජනය කළ රෙහාන් පීරිස්ට හිමිවී ඇති අතර අවිනාෂ් ප්‍රනාන්දු මෙවර සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 146 න් තරග 36 ක ජය තමන් සතුකර ගැනීමට රාජකීය විදුහල සමත්ව ඇති අතර සාන්ත තෝමස් විදුහලද ජයග්‍රහණය 36 කට හිමිකම් කියයි. තරග 74 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. රාජකීය විදුහල අවසන් වරට නිල් මහ සටන ජය ගැනීමට සමත්ව ඇත්තේ 2023 වසරේදී වන අතර සාන්ත තෝමස් විදුහල අවසන් වරට නිල් මහ සටන ජයගෙන ඇත්තේ 2025 වසරේදීය.
මෙවර අන්තර් පාසල් තරග වාරයේදී තරග 13 කට ක්‍රීඩා කර ඇති රාජකීය විදුහල එහිදී කොළඹ නාලන්දා විදුහලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා ඇති අතර ඔවුන් සහභාගි වූ සෙසු තරග 12 ම ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. මෙවර අන්තර් පාසල් තරග වාරයේදී තරග 16 කට ක්‍රීඩා කළ සාන්ත තෝමස් විදුහල එහිදී මෙරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව ජයග්‍රහණයක්ද, කොළඹ ආනන්ද විදුහල හමුවේ පරාජයක්ද ලබා ඇත. සෙසු තරග 14 ම ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ.
රාජකීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින 17 හැවිරිදි දකුණත් පිතිකරු රෙහාන් පීරිස්, ඉනිම් 21 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 7 සමග ලකුණු 946 ක් රැස්කරගෙන ඇත්තේ 49.79 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. වමත් පිතිකරු හිරුන් ලියනගේ 42.16 ක් සමග ලකුණු 801 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගිනි.
පසුගිය වසරේදී රාජකීය විදුහල් කණ්ඩායමේ නායකත්ව දැරූ දකුණත් පිතිකරු රමිරු පෙරේරා ඉනිම් 18 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 730 ක් රැස්කිරීමට සමත්ව ඇති අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය සටහන් වන්නේ 48.67 ක් ලෙසිනි. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු මෙවර තරග වාරය තුළ කඩුලු 39 ක් බිඳහෙළීමටද සමත්ව ඇත.
වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක හිමරු සිල්වා තරග 13 කදී කඩුලු 38 ක්ද, 16 හැවිරිදි වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සෙහඳු සූරියාරච්චි තරග 12 කදී කඩුලු 26 ක්ද බිඳහෙළමින් රාජකීය විදුහල් කණ්ඩායමේ පන්දු යැවීමේ බළඇණිය සවිමත් කරති.
තවමත් 16 වැනි වියේ පසුවන රෙෂෝන් සොලමන්ස් තරග 16 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 789 ක් රැස්කරමින් සාන්ත තෝමස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 34.31 ක අගයක් ගනී. එම විදුහලේම ජේඩ්න් අමරවීර තරග 13 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 756 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 36 ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රඳවාගනිමිනි.
සාන්ත තෝමස් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන 17 හැවිරිදි වමත් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අභීත් පරණවිදාන 13 කදී කඩුලු 44 ක් දවාගෙන ඇති අතර තවත් වමත් මඳ වේග පන්දු යවන්නකු වන ගිම්හාන් මෙන්ඩිස් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක රෙෂොන් සොලමන්ස් කඩුලු 18 බැගින් බිඳහෙළීමට සමත්ව ඇත.
රාජකීය - සාන්ත තෝමස් මහ තරගයේදී බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසු කලෙක ශ්‍රී ලංකාව පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ. ඩී.එස් සේනානායක (1901-1902), ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක (1927-1929) යන හිටපු අගමැතිවරුන් සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන (1925) යන මහත්වරු රාජකීය විදුහල නියෝජනය කරමින්ද මෙම එෛතිහාසික නිල් මහ සටනට ක්‍රීඩා කළහ.
රාජකීය විදුහල් සංචිතය
රෙහාන් පීරිස් (නායක), චනිතු කංකානම්ගේ, දුහෙන් උඩුවෙල, ගගන් ගමගේ, හිමරු ද සිල්වා, හිරුන් මතීෂ, මහිරු කොඩිතුවක්කු, මනුත් දසනායක, මුදිත් ගුණසේකර, රමිරු පෙරේරා, සන්දුල් අබේවර්ධන, සසිඳු මාපා, සෙහඳු සූරියාරච්චි, තෙවිඳු වෑවල්වල, උදන්ත ගඟේවත්ත, උසිත් ඉලේපෙරුම, විමත් දින්සර සහ යසිඳු දිසානායක
සාන්ත තෝමස් විදුහල් සංචිතය
අවිනාෂ් ප්‍රනාන්දු (නායක), ඒරන් ද සිල්වා, ඒරන් කොඩිතුවක්කු, අභීත් පරණවිදාන, අඛීලේෂ් රාජකරුණා, චමේෂ් ගුණවර්ධන, චනුත් ඇහැලියගොඩ, චෙලාන් වීරසිංහ, ක්‍රිෂෙන් වරුණසූරිය, දිනෙත් පීරිසි, ගිම්හාන් මෙන්ඩිස්, ජේඩ්න් අමරවීර, ලුදීෂ මාතරගේ, මහිත් රාජපක්ෂ, මෙතුක ගුණරත්න, මිනොන් වර්ණසූරිය, නෙතුක වලිමුණිගේ, නෙතුන් විතානගේ, රපීල් හෙට්ටිගේ, රෙෂෝන් සොලමන්ස්, ශනිල් පෙරේරා, සිනෙරු තින්තිරිවත්ත සහ ස්ටීවන් පීරිස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.