
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘අගමැති කුසලාන’ වෙනුවෙන් ඊයේ (9 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 41-08 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.
කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 20-00 ක් ලෙස ඩී.එස්. විදුහල පෙරමුණ ගත්තේය. එහිදී ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් ඩී.එස්. ක්‍රීඩකයෝ, සහිරා ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ.
දෙවැනි අර්ධයේදී සහිරා විදුහල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 8 ක් රැස්කරද්දී, ඩී.එස්. විදුහල ගෝල දිනුම් 3 ක් සමග ලකුණු 21 ක් රැස්කළේය. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට ලකුණු 41-08 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගැනීමට ඩී.එස්. ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙම තරගයට පෙර ‘සභාපති කුසලාන’ සඳහා හැව්ලොක් පිටියේදීම පැවැති අවසන් තරගයේදී ලකුණු 32-10 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරාජය කිරීමට පිළියන්දල මැදි විදුහල සමත් විය. එහිදී පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩකයෝ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 5 ක් සමගද, ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්හ.






ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.