
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා (ක්‍රිකට්) කණ්ඩායමේ ක්‍රීඩකයන් පුවත් පත් සාකච්ඡා සඳහා නිතරම පැමිණෙන්නේ සූදානම් කරගත් උත්තර දිව අග තියාගෙනය. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව සිටින තැන හෝ ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට යාම සම්බන්ධයෙන් කිසිවකු ප්‍රශ්න කළහොත් ඒවාට පිළිතුරු දීමේදී ඔවුන් අනුගමනය කරන්නේ ඇඟ බේරාගැනීමේ න්‍යායයි.
අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පෙන්නුම් කරන්නේ කිසියම් කණ්ඩායමක් කොයි තරම් දුරට තම දස්කම් අතර ස්ථාවරව සිටින්නේද යන්නයි.
පාකිස්තානයේදී පැවැති එක්දින තරගාවලියට පොරතුව ප්‍රසාද ලකුණු 103 ක් සහිතව එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී ලද 3-0 ක පරාජයට පසුව 5 වැනි ස්ථානයට ඇද වැටුණේය. එක්දින තරග සඳහා දැනට ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 100 කි.
තුන්කොන් තරගාවලියට පෙරතුව විස්සයි-20 කණ්ඩායම් අතරේ 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියෙන් පසුව 8 වැනි ස්ථානය දක්වා ඇද වැටී තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ ඇද වැටෙන්නේ පිට පිටම පැවැති විස්සයි-20 තරග දෙකකදී සිම්බාබ්වේ සහ පාකිස්තානු පිල පරාජය කිරීමෙන් පසුවයි.
පාකිස්තානයේදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී දක්නට ලැබුණු දේ කිසිසේත්ම සමාව දිය නොහැකි සිදුවීම් මාලාවකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එදා ක්‍රීඩා කළේ වෘත්තීය මට්ටමට නොව, ආධුනිකයන්ටත් වඩා පහළ මට්ටමේ සිටිමිනි. ඇරත් විස්සයි-20 තරගයකදී ශක්තිමත් ස්ථාවරයක් ගොඩනඟා ගැනීමෙන් පසුව එම තරගයේම ජයග්‍රහණය බන්දේසියක තබා ප්‍රතිවාදීන්ට පිළිගැන්වූ පළමු අවස්ථාව ද මෙය නොවේ.
රාවල්පිණ්ඩි අවසන් තරගය ආරම්භයේදී කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 9 ම ලකුණු 30 කට ඇද වැටිණ. ඒවායින් කඩුලු 8 ක් ලකුණු 16 ක් ඇතුළතදී බිඳ වැටිණ.
ශ්‍රී ලංකා කණ්ඩයම මුහුණ දුන් පන්දු 115 න් පන්දු 55 ක්ම නිළකුණු පන්දු විය. පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර ගැසූ හතරේ පහර 3 සහ හයේ පහර 5 හැරෙන්නට වෙනත් එකම හතරේ හෝ හයේ පහරක් ශ්‍රී ලංකා ඉනිමට ඇතුළත් නොවිණ. අවධානය යොමුකළ යුත්තේ මෙතැනය.
එසේ වූයේ ඇයිද යන්න වෙනමම පරීක්‍ෂණයක් පැවැත්වෙන්න් නම් සත්‍යය සොයාගත හැකිවනු ඇත.
1994 දී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 කින් පරාජය වීමෙන් පසුව (ටෙස්ට් තරගාවලියකදී ශ්‍රී ලංකාව මුලින්ම අත්විඳි සම්පූර්ණ සුද්දය) ඊට හේතු කාරණා සෙවීම පිණිස පත්කරන ලද කොමිසම විසින් පෙර නොවූ විරූ තොරතුරු සමුදායක් සොයාගන්නා ලදි. එහෙත් කණ්ඩායමේ ඉදිරි දියුණුව පතා එම තොරතුරු සියල්ල වහංගු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රීඩකයන්ට දැඩි සේ අවවාද කිරීමෙන් පසුව, 1995 සිට 2000 දක්වාම තම තීරණයේ උපරිම ප්‍රතිඵල නෙළා ගත්තේය.
විස්සයි-20 විශේෂඥයකු යයි කියමින් කණ්ඩායමට එකතු කරගත් භානුක රාජපක්‍ෂට අවසන් තරගයේදී හෝ 11 දෙනා අතර ස්ථානයක් සොයාගත නොහැකි විය. පුරුදුකාරයන් යයි කියමින් මෙම තරගාලියට එක්කාසුකරගෙන ගිය කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක සහ මහීෂ් තීක්‍ෂණ ගෙන් කිසිදු වැදගත් දෙයක් නොකෙරිණ.
මේ ආකාරයේ පිරිසක් සමගින් ඉදිරියට යන්නේ කෙසේද ?
අවාරයේ අඹ වැටෙන්නාක් මෙන් පිතිකරුවන් ඉඳහිට සාර්ථක වූ නමුත් ඒ දස්කම්වල කිසිදු ස්ථාවරත්වයක් නැත. කිසියම් පිතිකරුවකු හෝ පන්දු යවන්නකු අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළ ගියද කණ්ඩයම පහළට වැටී තිබේ. ඒත් මාධ්‍ය හමුවකදී ඔවුන් කියන්නේ තමන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බවකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පහළ වැටීම සම්පූර්ණයෙන්ම ක්‍රීඩකයන් විසින් බාරගත යුතුව තිබේ. තමන්ට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන නොගෙන, පිතිකරු ලයිස්තුවේ ඉහළට හෝ පහළට දැමීම නිසා තමන්ට නිසි දස්කම් දැක්විය නොහැකිවූයේ යයි කීම ප්‍රශ්නයෙන් පැන යාමකි.
හොඳම උදාහරණ වන්නේ රොෂාන් මහානාම සහ කුමාර් ධර්මසේන දෙදෙනායි.
රොෂාන් මහානාම පාසල් වියේදී ආරම්භක පිතිකරුවකු නොවේ. එහෙත් 1986 දී පාකිස්තානයට එරෙහිව ඔහු සී.සී.සී. පිටියට පිවිසෙන්නේ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරුවා ලෙසිනි. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුවේ අංක 1 සිට අංක 9 දක්වා සෑම ස්ථානයකම ක්‍රීඩා කළ මහානාම 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී කළ පිතිහරඹය මතු මතුත් කියැවෙන වෘත්තාත්තයකි.
කුමාර් ධර්මසේන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසිනි. ඒත් වතාවක් ධර්මසේනව තමන් වෙත කැඳවන අර්ජුන ඔහුට කියන්නේ මෙවැනි කතාවකි.
“කුමා, මට ඔයාගෙන් විකට් ඕනේ නෑ... විකට් ගන්න පුළුවන් නම් ඔයා ගන්න... ඒක ඔයාගේ වැඩක්... ඒත් ඔයාගේ ඕවර 10 ම ලකුණු 40 කට අඩුවෙන් දාලා දෙන්න ඕනා හරිද..”
11 දෙනෙක් ක්‍රීඩා කරන කණ්ඩායමක එක් එක් අයකුට පැවරෙන කාර්යයන් විවිධාකාරය. එබැවින් අදාළ තරගයේදී තමන් වෙත පැවරෙන වගකීම කුමක්ද යන්න වටහාගනිමින් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයන් සතු කාර්යයකි. කාර්යාලයක සේවය කරන කිසිවකුට තමන් කැමති සියලු දේ කළ නොහැකිය. කාර්යාලයේ අවශ්‍යතා අනුව කටයුතු කිරීම වෘත්තිකයකුගේ වගකීම වන්නා සේම එය එසේ කිරීමට නොහැකි නම් ඉල්ලා අස්වීම දී වෙනත් කාර්යාලයක් සොයාගැනීමේ තහනමක් ද නැත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් කියන්නට ඇත්තේ එවැනිම කතාවකි.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තවත් ඇත්තේ හරියටම දින 65 කි. ආසන්න වශයෙන් මාස දෙකක් වූවත් ජනවාරි මාසයේ 7 වැනිදා සිටම විස්සයි-20 සහ එක්දින තරග මාලා දෙකකි. එබැවින් ඉතිරිව ඇත්තේ මාසයකි.
පිතිකරුවන් හත් දෙකනු ක්‍රීඩා කරන කණ්ඩායමකට විස්සයි-20 තරගයකදී ලකුණු 170 පසුකර යා නොහැකි නම් අඩුව ඇත්තේ කොතැනද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. ලකුණු 160 ක් හෝ 170 ක් පුවරුවේ නොමැතිව පන්දු යවන්නන්ට දෙස් දෙවොල් තැබීම අසාධාරණ බවද නොකිවමනාය.
අනෙක් අතට ඇතැම් ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ඉතාමත් දුර්වල මට්ටමක පවතී. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන නිර්ණායකයන් අනුව කිසියම් ක්‍රීඩකයකුට පන්දු රැකිමට නොහැකි නම්, ඔහු කොයිතරම් හොඳ පිතිකරුවකු වුවත් කොයිතරම් හොඳ පන්දු යවන්නකු වූවත් ඔහුට කණ්ඩායමේ 11 දෙනා අතර ස්ථානයක් සොයාගත නොහැකිය. මක්නිසාද යත් එවන් ක්‍රීඩකයකු කණ්ඩායම ඇතුළේ ‘මඟියකු’ වන බැවිනි.
එබැවින් නුවන් තුෂාර, කුසල් පෙරේරා සහ භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් පිළිබඳ නැවතත් සිතා බැලීම වටී. මතිෂ පතිරණගේ වයිඩ් පන්දු යැවීම ගැනත් එසේමය.
කෙසේ වෙතත් පාපන්දු පිටියේ ක්‍රීඩකයන් ආදේශ කරන්නාක් මෙන් නැතහොත් කාඩ් කූට්ටමක කොල සියල්ල එකට අනන්නාක් මෙක් කටයුතු කිරීම කළ නොහැකිය. ක්‍රීඩකයන් මෙන්ම තේරීම් කමිටු නිලධාරීන් සහ ක්‍රිකට් නිලධාරීන් වුවද හරි හමන් තීරණයක් ගතයුතු කාලය එළඹ තිබේ.
කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම පිළිබඳ නැවතත් අවධානය යොමුකළ යුත්තේ ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 වුව, ‘ක්‍රිකට්’ යනු කණ්ඩායම් ක්‍රීඩාවක් වන බැවිනි. එබැවින් කුසලාන දිනාගැනීම තාවකාලිකව පසෙක තබා, ශ්‍රේණිගත කිරීම් අනුව දැනට වැටී සිටින තැනින් උඩට ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහ කරන්නේ නම් ඒ යන මාවතේ කුසලාන රැඳී තිබේ.
උදාහරණයක් ලෙසින්, මේ වන විට විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අනුව දැනට 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන පළමු අවස්ථාවේ සිටම එතැනින් ඉහළට යාමට සැබෑ උවමනාවක් ඔවුන්ට තිබේ නම්, ජනවාරි මාසයේදීම පාකිස්තානය සහ එංගලන්තය හමුවේ කුසලාන දෙකක් දිනාගත හැකිය. එතෙක් ලෝක කුසලාන ගැන කතා නොකර ඉඳිමු.
මෙවැනි වාතාවරණයක් හමුවේ කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයන් සමගින් නිර්භීත තීරණ ගැනීමට තේරීම් කමිටුවට සිදුවෙයි. ක්‍රීඩාවේ ආකෘතිය කුමක් වූවත්, එම ක්‍රීඩකයන්ට සාධාරණ අවස්ථාවක් දීම ද යුක්ති සහගතය.
මේ සියල්ල අතරේ නොකියා නොහැකි යමක් ද තිබේ.
අත්දැකීම් ඇති නමුත් නිවැරදි ආකල්ප වලින් තොරව, නිසි අරමුණක් නැති (දසුන් ශානක දෙවතාවක්ම කී පරිදි) ක්‍රීඩකයන් පිරිසක් සමගින් ඉදිරියට යනවාට වඩා අත්දැකීම් නැති නමුත් තරුණ කණ්ඩායමක් සමඟ 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට යාම සාධාරණය. මක්නිසාද යත් 2027 දී එක්දින ලෝක කුසලාන තරගාවලියත්, 2028 දී විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය නැවතත් පැවැත්වෙන බැවිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.