Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට පළඟ ශූරතාව

ශ්‍රී ලංකාවට පළඟ ශූරතාව

රොෂාන් ගුණරත්න - 2017 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොං කොං හි කිංග්ස් උද්‍යානයේදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටයේදී පිලිපීනය ලකුණු 32-19 ක් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පළඟ ශූරතාව දිනා ගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෝලයකින් සහ උත්සාහක දිනුම් 5 කින් ලකුණු ලබාගත් අතර පිලිපීන කණ්ඩායමට ලබාගත හැකිවූයේ ගෝල දෙකක් සහ උත්සාහක දිනුමක් පමණි.


පළඟ ශුරතාව යනු තරගාවලියේ පස්වැනි ස්ථානයයි.


පළඟ ශූරතා තරගය ආරම්භ වීමත් සමගම පිලිපීන ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් ලබාගනිමින් ලකුණු ලබාගැනීම ඇරඹූහ. එහෙත් ඒ සමගම වාගේ තරින්ද රත්වත්ත ලබාගත් උත්සාහක දිනුමකින් ලකුණු තත්ත්වය සමවිය. මේ අතරවාරයේදී නීිති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 6 දෙනකුට සීමා වීම නිසා පිලිපීනය ලකුණු 12-07 කින් ඉදිරියට ගියේය. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වීමට සුළු වේලාවකට පෙර කෙවින් ඩික්සන් ලබාගත් උත්සාහක දිනුම හේතුවෙන් දෙපිල අතර පරතරය ලකුණු 02 ක් දක්වා අඩු විය.


දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමගින් පිට පිටම උත්සාහක දිනුම් හතරක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය සහමුලින්ම තමන්ගේ අතට ගැනීමට සමත් වූහ. නායක සුදර්ශන් මුතුතන්ත්‍රි, නවීන් හීනකංකානම්ගේ, බුද්ධිම පියරත්න සහ සමිත් ධනංජය මෙම උත්සාහක දිනුම් ලබාගත්හ. ඒවා අතුරින් බුද්ධිම පියරත්න ලබාගත් උත්සාහක දිනුම කෙවින් ඩික්සන් විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරන ලදි.


තරගයේ නිමාව පෙනි පෙනී පිලිපීනය ගෝලයක් ලබාගත් නමුත් එයින් අවසන් ප්‍රතිඵලයට බාධාවක් නොවීය.


පළඟ ශුරතාවලියේ අවසන් පූර්ව තරගයේදී මලයාසියාව ලකුණු 45-00 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් ලබාගත්තේය. ගෝල 5 ක් සහ උත්සාහක දිනුම් දෙකක් ඊට ඇතුළත් විය. විවේකයේදී ශ්‍රී ලංකා පිල 26-00 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.


කෙවින් ඩික්සන්, හිරත්න පෙරේරා (2), ධනූෂ් දයාන්, නවීන් හීනකංකානම්ගේ, තරින්ද රත්වත්ත සහ ජේසන් දිසානායක මැලේසියානුවන් හමුවේ උත්සාහක දිනුම් ලබාගත්හ. තරින්ද රත්වත්ත, හිරන්ත පෙරේරා සහ කෙවින් ඩික්සන් විසින් උත්සාහක දිනුම් 5 ක් ප්‍රවර්ථනය කරන ලදි.


කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජය වීම නිසා ශ්‍රී ලංකා පිල පළඟ ශූරතාව දිනාගැනීමේ කොටසට වැටිණ. එහිදී වඩාත් ශක්තිමත් චීන කණ්ඩායම ශ්‍රී ලාංකිකයන් පරදවා ලකුණු 36 - 12 ක පහසු ජයක් අත්කරගත්තේය.  


කුසලාන අවසන් මහ තරගයේදී හොං කොං කණ්ඩායම ලකුණු 19 - 12 කින් පරාජය කළ ජපානය විසින් කුසලාන ශූරතාව දිනාගන්නා ලදි. තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී දකුණු කොරියාව විසින් ලකුණු 14-07 කින් චීනය පරාජය කරන ලදි.


ආසියානු සත් සාමාජික තරගාවලියේ පළමු අදියර නිමාවේදී කණ්ඩායම් ලබාගත් ස්ථාන

1. ජපානය

2. හොං කොං

3. දකුණු කොරියාව

4. චීනය

5. ශ්‍රී ලංකාව

6. පිලිපීනය

7. මැලේසියාව

8. චීන තායිපේ

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පළඟ ශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.