මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ සිය අවසන් තරගයේදී දුර්වල සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ගෝල වරුසාවකින් තෙමා දැමූ සී.ආර්.ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩකයෝ ලකුණු 83-13 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වූහ.
තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 43-8 කින් පෙරමුණ ගත් රතු බැනියම්කාරයෝ තරගය පුරා උත්සාහක දිනුම් 12ක් තැබීමට සමත්වූහ. ඉන් 10 ක්ම ගෝල බවට ද පත් කරගත්තේ කිසිදු අනුකම්පාවකින් තොරවය. සී.එච්. පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් පමණි. සී.ආර්.පිල වාර්තා කළ ගෝල 10 න් 7 ක්ම සාර්ථක කරගත්තේ ප්‍රින්ස් චාමර විසිනි.
කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ දී සී.එච්. පිලේ ජවය හා ශක්තිය රඳා පැවැතියේ ආරම්භක මිනිත්තු දහය පමණි. ඒ අතරතුර කාලයේ දෙපිලම දඬුවම් පහර 2 කින් ලකුණු 3-3 බැගින් ලබා සිටියහ. ඉන් අනතුරුව රතු බැනියම්කාරයන්ට කිට්ටුවීමටවත් සී.එච්. පිලේ ක්‍රීඩකයන්ට ඉඩක් නොලැබිණි.
තරීක් සාලේ තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 8-3 ක් ලෙස ඉහළ දමාගත් සී.ආර්.පිලට කවිඳු ද කොස්තා, අනුරාධ හේරත් සහ ඕමල්ක ගුණරත්න පිට පිට තැබූ උත්සාහක දිනුම් ත්‍රිත්වයම ගෝල බවට පත් කළ ප්‍රින්ස් චාමර සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 29-3 කින් ඉහළට ඔසවා තැබුවේය.
රතු බැනියම්කාරයන්ගේ ආක්‍රමණයෙන් මිදුණු තිවංක බණ්ඩාර පන්දුව රැගෙන ප්‍රතිවාදී සීමාවෙන් ඔබ්බට පනිමින් අනගි උත්සාහක දිනුමක් තැබීමට සමත්වූයේ සී.එච්. පිලේ ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ දමමිනි. ඊට මොහොතකට පසුව අනුරාධ හේරත් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කළ චාමර ලකුණු 36-8 කින් සී.ආර්.පිල ඉදිරියට ගෙන ගියේය.
පළමු භාගය නිමාවට මොහොතකට පෙර ෂමාල් වීරසේකර තැබූ උත්සාහක දිනුමක් කවිඳු ද කොස්තා අපුරුවට ගෝලයක් බවට පත් කරද්දී ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 43-8 ක් ලෙසිනි.
දෙවැනි භාගයේදී කිසිදු සටනකින් තොරව සිය සුපුරුදු දස්කම් පෙන්වීමට පටන් ගත් සී.ආර්.පිල ඒ අතරතුර කාලයේ තවත් උත්සාහක දිනුම් 5 ක්ම තැබිමට සමත්විය. ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ අනුරාධ හේරත් මීටර් 50 ක් පමණ දිව යමින් තැබූ අනගි උත්සාහක දිනුම කැපී පෙනේ. එය ඔහු විසින් මේ තරගයේදී තබනු ලැබූ තුන්වැනි උත්සාහක දිනුම ද විය.
හේරත්ගේ උත්සාහක දිනුම වාර්තා වූයේ සෂාන් මොහොමඞ්ගේ දෙවැනි උත්සාහක දිනුමට පසුවය. උත්සාහක දිනුම් ද්විත්වයම ගෝල බවට පත් කළ චාමර සිය කණ්ඩයාමේ ලකුණු සංඛ්‍යාව 55 දක්වා ඉහළ නැංවිය.
අනතුරුව සී.ආර්.පිලේ නායක ෂේන් සම්මන්දපෙරුමත්, නලීන් කුමාරත් උත්සාහක දිනුම් තැබුවේ ළඟ ළඟමය. දවසේ කාර්යබහුල ක්‍රීඩකයා බවට පත්ව සිටි චාමර විසින් උත්සාහක දිනුම් ද්විත්වයම කිසිදු කරදරයකින් තොරව ගෝල බවට පත් කරද්දී සි.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 69-8 ක් ලෙසිනි.
සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට නලීන් කුමාර සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කළ චාමර සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 76 දක්වා ඉහළ දැමුවේය.
මිනිත්තු කිහිපයකට පසුව ඇන්ඩෘ බෙන්සන් හිටි හැටියේම සී.ආර්. ක්‍රීඩකයන් අතරින් පන්දුව රැගෙන ගොස් අනපේක්ෂිත උත්සාහක දිනුමක් තැබීමට සමත්වූයේ සී.එච්. පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉදිරියට ගෙන යමිනි. එහෙත් අවසන් මිනිත්තු කිහිපයේදීත් උත්සාහක දිනුම් පිපාසයෙන් පසුවූ රතු බැනියම් කාරයන් තරගය නිමා කළේ චරන සෙන්දනායක තැබූ උත්සාහක දිනුම සමන්ත ලක්ෂාන් ගෝලයක් බවට පත් කිරීමෙන් පසුවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.