
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2025-2026 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ මූලික වටය නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන පළමු පෙළ රග්බි කණ්ඩායම් සියල්ලම මේ වන විට සිය කණ්ඩායම්වල නායකයන් සහ පුහුණුකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.
එහිදී දැකිය හැකි සුවිශේෂීතම කරුණ වන්නේ කණ්ඩායම් 9 න් කණ්ඩායම් 8 ක්ම මෙවර තරගාවලියට එක්වන්නේ නව නායකත්වයන් යටතේ වීමය. අවසන් වරට (2024-2025) පැවැති ලීග් රග්බි තරගාවලියේදී නායකත්වය දැරූ ක්‍රීඩකයන් අතරින් මෙවර තරගාවලියේදීද සිය කණ්ඩායමේ නායකත්වය දරන්නේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ ජනිඳු දිල්ෂාන් පමණි.
අවසන් වරට පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියට සහභාගි වන්නේ මහනුවර කින්ස්වුඩ් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන තරිඳු චතුරංගගේ නායකත්වය යටතේය. ගියවර අනු ශූරයන් බවට පත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය මෙවර හිමිව ඇත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සන්දේෂ් ජයවික්‍රමටය.
මෙවර තරගාවලියේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගල්කිස්ස විද්‍යා විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ලසිඳු කරුණාතිලකට හිමිව තිබේ. ශාරක වැරල්ල විසින් ගුවන් හමුදා කණ්ඩායමත්, ශානක හරිෂ්චන්ද්‍ර විසින් පොලිස් කණ්ඩායමත්, ගනිඳු ලක්ෂාන් විසින් ශ්‍රී ලයන්ස් කණ්ඩායමත්, සුදාරක දික්කුඹුර විසින් යුද හමුදා කණ්ඩායමත්, දෙනුවන් වික්‍රමාරච්චි විසින් නාවික හමුදා කණ්ඩායමත් මෙහෙයවනු ලබති.
එක් එක් කණ්ඩායම්වල පුහුණුකාරීත්වයන් දෙස බලන කළ කණ්ඩායම් 9 ක් 4 ක් පමණක් හිටපු පුහුණුකරුවන්ගේ පුහුණුකාරීත්වයන් යටතේ මෙවර තරගාවලියට සහභාගි වේ. සෙසු කණ්ඩායම් 5 තරගාවලියට එක්වන්නේ එම කණ්ඩායම් වල හිටපු පුහුණුකරුවන් ඉවත් කරමින් නව පුහුණුකාරීත්වයන් යටතේය.
මහනුවර කණ්ඩායමේ හිටපු පුහුණුකරු ෆසිල් මරීජා, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ හිටපු පුහුණුකරු දුෂාන් ලෙව්කේ, හැව්ලොක්ස් කණ්ඩායමේ හිටපු පුහුණුකරු සාලිය කුමාර සහ ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු හිටපු අසේල දේශප්‍රිය යන මහත්වරු පමණක් මෙම වසරේදීත් එම කණ්ඩායාම්වල පුහුණුකාරීත්වයන් දරති.
චන්ද්‍රලාල් සමරකෝන් මහතා පොලිස් කණ්ඩායමේත්, රෝහිත රාජපක්ෂ මහතා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේත්, දුලංජන විජේසිංහ මහතා ශ්‍රී ලයන්ස් කණ්ඩායමේත්, සනත් මාටින්ස් මහතා යුද හමුදා කණ්ඩායමේත්, ධනුෂ්ක බොතේජු මහතා නාවික හමුදා කණ්ඩයමේත් නව පුහුණුකරුවන් ලෙස පත්ව සිටිති.
ක්‍රීඩා සමාජ 9 ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටය සති 9 ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී තරග 4 බැගින් පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් නත්තල් නිවාඩුව හේතුවෙන් දෙසැම්බර් මස අවසන් සතියේදී තරග නොපැවැත්වෙනු ඇත.
ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 36 ක් වන අතර සෑම සතියකදීම කණ්ඩායම් 8 ක් තරග වදින විට එක් කණ්ඩායමකට විවේකයක් හිමිවනු ඇත. තරගාවලියේ මූලික වටය ජනවාරි මස 26 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය.
මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත. ලකුණු සටහනේ අවසන් ස්ථාන 5 ට පත්වන කණ්ඩායම්වලට දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.