Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාමයෝජනාව සමග වත්කම් - බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

නාමයෝජනාව සමග වත්කම් - බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

editorial - 2025 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 21 වැනිදා ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කළ  2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග මාලාවට අනුව මින් ඉදිරියට ජාතික ක්‍රීඩා සංගමයක විධායක කමිටුවක තනතුරකට නාමයෝජනා ඉදිරිපත් කරන්නන්ට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

එම නියෝග මාලාවේ පස් වැනි කොටසේ ජාතික ක්‍රීඩා සංගම් - සම්මේලන වලට පොදු විධිවිධාන යටතේ 23 වැනි ඡේදයේ එය දක්වා තිබේ.

එහි සඳහන් වන්නේ යම් ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක විධායක කමිටු සාමාජිකයෙකුවීම සදහා නාමයෝජනා බාර දෙන අවස්ථාවේදී සෑම අයෙකුම එම වසරේ මාර්තු 31 වැනිදා වන විට තමාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් නිලවරණ කමිටුවට බාර දිය යුතු බවයි. එලෙස බාරදීමට අසමත් වන හෝ පැහර හරින අයෙකු ජාතික  ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක කිසිදු  නිලයක් සදහා තේරී පත්වීමට නුසුදුස්සකු වන්නේය. යනුවෙන් එහි දක්වා තිබේ.

එහි වැඩිදුරටත් දක්වා ඇති පරිදි එකී නිලවරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් වැඩ කරන දින පහක් ඇතුළත අදාළ නිලවරණ කමිටුව ව්සින් එකී වත්කම් හා බැරකම් ප්‍රකාශ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාර දිය යුතුය. 

මෙම රෙගුලාසීය සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානියෙකු පැවැසුවේ එය ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ සදහා ඉදිරිපත් වන්නන් අධෛර්යට පත් කළ හැකි සිදුවීමක් විය හැකි බවයි.

"ජාතික ක්‍රීඩා සංගම් විධායක සභා තනතුරු කියන්නෙම ගරු සේවයක්. මෙච්චර කරදර විඳගෙන මිනිස්සුන්ට මොකක්ද තියන උවමනාව මේ තනතුරු වලට ඉදිරිපත් වෙන්න. මම නම් දැනටමත් තීරණය කරලා ඉවරයි මේ වගේ මිනිස්සුන්ට කරදරකාරී රෙගුලාසි යටතේ ආපසු කිසිම දවසක ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ සදහා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා" යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

මේ අතර වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ ක්‍රීඩා සංගම් නව නියෝග මාලාව යටතේ එතෙක් ජාතික ක්‍රීඩා සංගම් ධූර කාලසීමාවන් සදහා පනවා තිබූ වයස 70 සීමාව ඉවත් කර තිබේ.

2022 දෙසැම්බර් 14 වැනිදා එවකට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් සංශෝධිත ක්‍රීඩා රෙගුලාසි දක්වමින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ නියෝග යටතේ පස්  වැනි ඡේදයේ එය දක්වා තිබුණේ මෙසේය.

"ඕනෑම නිලධාරීයෙකුගේ හෝ කමිටු සාමාජිකයෙකුගේ එකී ධූර කාලය දැරිය හැකි උපරිම වයස් සීමාව වයස හැත්තෑව (70) දක්වා සීමා කරනු ලබන්නේය."

වසර 2016 සිට 2024 මැයි 03 වැනිදා දක්වා කටයුතු කළ දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාෆා, හරීන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ,රොෂාන් රණසිංහ හා හරීන් ප්‍රනාන්දු (දෙවැනි වර) යන හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් විසින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත වරින් වර සංශෝධනය කරමින්  අති විශේෂ ගැසට් නිවේදන 38 ක් ශුන්‍ය (පරිච්ඡින්න) කරමින් වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් (නව) නියෝග මාලාව පසු ගිය මැයි 21 වැනිදා ප්‍රකාශයට පත් කළේය.


අදහස් (0)

නාමයෝජනාව සමග වත්කම් - බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.