Last Update  :  2026-03-06 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්ත ක්‍රීඩකයෝ උඩුගම් බලා පිහිනති
විස්සයි-20 ලෝක කුසලාන

නවසීලන්ත ක්‍රීඩකයෝ උඩුගම් බලා පිහිනති

editorial - 2026 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දෙවරක් විස්සයි-20 ලෝක ශූරයන් බවට පත්ව සිටින ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ රටේදීම එක් ලක්ෂ තිස් දෙ‍දහසක ප්‍රේක්ෂක ධාරිතාවයකින් යුත් අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝද් ක්‍රීඩ‍ාංගණයේදී අනිද්දා (8 වැනිදා) පස්වරු 7.00 ට තරග බිමට පිවිසෙන නවසීලන්තයට ලෝක ශූරයන් බවට පත්වීම සඳහා උඩුගම් බලා පිහිනීමේ කාර්යයක නිරත වීමට සිදුව තිබේ.

සිය මව්බිමේදී ඉතා ශක්තිමත් කණ්ඩායමක් වන ඉන්දියාව පරාජය කිරීම නවසීලන්තයට පමණක් නොව ලොව ඕනෑම කණ්ඩායමකට අසිරු අභියෝගයක් වීමත්, ඉන්දීය ක්‍රීඩකයන්ට වඩාත් හුරු පුරුදු තණතිලිවල අවසන් තරගය පැවැත්වීමත්, ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබන නොමඳ සහයෝගයත් ඊට හේතු ලෙස සඳහන් කළ හැකිය. 

තරගාවලිය පුරා අපරාජිතව සිටි දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් ලබමින් නවසිලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඉන්දියාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ කරට කරට සටනකින් අනතුරුව දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 7 ක තියුණු ජයක් වාර්තා කරමිනි.

සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් නවසීලන්තය මෙවර අවසන් පූර්ව වටයට පිවිසියේය. ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසියේ පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වෙමිනි. කණ්ඩායම් දෙකම මෙවර තරගාවලිය තුළ තරග 8 කට බැගින් ක්‍රීඩා කර ඇති අතර නවසීලන්තය ඉන් තරග 2 කදී (දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ) පරාජයට පත් විය. ඉන්දියාව පරාජයට පත්ව අත්තේ එක් තරගයකදී (දකුණු අප්‍රිකාව හමුවේ) පමණි.  

ඉන්දියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා ඇති සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර අවස්ථා 3 න් 2007 සහ 2024 වසරවලදී ශූරතාව දිනා ඇති ඉන්දියාව, 2014 වසරේදී අනු ශූරයන් බවට පත්ව ඇත. නවසීලන්තය අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා ඇති දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර අවස්ථාවේදී (2021) ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.   

මේ දක්වා මෙම කණ්ඩායම් දෙක අතර විස්සයි-20 ජාත්‍යන්තර තරග 30 ක් පවත්වා ඇති අතර ඉන් 18 ක ජය ඉන්දියාවටත්, 11 ක ජය නවසීලන්තයටත් හිමිව තිබේ. එක් තරගයක් සමව අවසන් වී ඇත. එම තරග 30 න් 3 ක් විස්සයි-20 ලෝක කුසලාන තරග වන අතර 2007 වසරේ දකුණු අප්‍රිකාවේදීත්, 2016 වසරේ ඉන්දියාවේදීත්, 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීත් පැවැත්වී ඇති එම තරග 3 දීම ඉන්දියාව පරාජය කිරීමට නවසීලන්තය සමත්ව තිබේ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලු ලාභීන් 10 දෙනා අතර මෙම කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් තිදෙනා බැගින් සිටිති. වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථනයේ පසුවන නවසීලන්තයේ ෆින් ඇලන් ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 289 ක් ලබා සිටින අතර 6 වැනි ස්ථානයේ පසුවන ටිම් සෙයිෆට් අර්ධ ශතක 3 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 274 කි. ඉන්දියාවේ ඉෂාන් කිෂන් අර්ධ ශතක 2 ක් සමග ලකුණු 263 ක්ද, සූර්යකුමාර් යාදව් අර්ධ ශතකයක් සමග ලකුණු 242 ක්ද ලබා පිළිවෙළින් එම ලැයිස්තුවේ 7 වැනි සහ 9 වැනි ස්ථානවල පසුවෙති.

කණ්ඩායම් දෙකේ පන්දු යැවීමේ අංශ දෙස බැලීමේදී ඉන්දියාවේ වරුණ් චක්‍රවර්ති කඩුලු 13 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන අතර නවසීලන්තයේ රචින් රවින්ද්‍ර කඩුලු 11 ක් බිඳහෙළමින් එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ රැදී සිටියි. ඒ අනුව ඉන්දියාව තෙවැනි වරටත් ලෝක ශුරයන් බවට පත්වනවාද, නැතහොත් නවසීලන්තය පළමු වරට එම කිරුළට හිමිකම් කියනවාද යන්න පිළිබඳව ‍ලොව පුරා සුවහසක් ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටිනු ඇත.  


නවසීලන්ත සංචිතය 

මිචෙල් සෑන්ට්නර් (නායක), ෆින් ඇලන්, මාක් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ජෙකොබ් ඩෆී, ලොකී ෆර්ගසන්, මැතිව් හෙන්රි, ඩර්ලි මිචෙල්, ජේම්ස් නීෂම්, ග්ලේන් පිලිප්ස්, රචින් රවින්ද්‍ර, ටිම් සෙයිෆට්, ඉෂ් සෝධි, කයිල් ජැමීසන් සහ කෝල් මැකොන්චි 

 

ඉන්දීය සංචිතය 
සූර්යකුමාර් යාදව් (නායක), සංජු සැම්සන්, අභිෂේක් ශර්මා, ඉෂාන් කිෂන්, තිලක් වර්මා, හර්දීක් පාණ්ඩ්‍යා, ශිවම් ඩූබේ, අක්සර් පටේල්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රීට් බුම්රා, වරුණ් චක්‍රවර්ති, කුල්දීප් යාදව්, අර්ෂ්දීප් සිං, රිංකු සිං සහ මොහොමඩ් සිරාජ් 


අදහස් (0)

නවසීලන්ත ක්‍රීඩකයෝ උඩුගම් බලා පිහිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.