Last Update  :  2025-09-19 11:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපේ බලාපොරොත්තුව පළමු කණ්ඩායම් 5 ට ඇතුළත් වීමයි
ආසියානු සත් සාමාජික රග්බි

අපේ බලාපොරොත්තුව පළමු කණ්ඩායම් 5 ට ඇතුළත් වීමයි

editorial - 2025 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

රටවල් 12 ක සහභාගීත්වයෙන් චීනයේ හැංෂූ නුවරදී පැවැත්වෙන 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මුල් අදියර අවසානයේ පළමු කණ්ඩායම් 5 අතරට පැමිණීම තම කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තව බව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක කවිඳු පෙරේරා පැවසීය. 

තරගාවලියට සහභාගි වීම සඳහා ඊයේ (18 වැනිදා) හැංෂූ නුවර වෙත ලඟා වීමෙන් අනතුරුව ‘ලංකාදීප’ වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය. චීනය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන්, පුහුණුකරුවන් දෙදෙනකුගෙන් සහ කලමණාකරුවකුගෙන් සමන්විත වන අතර එහිදී අදහස් දැක්වූ කවිඳු මෙසේද සඳහන් කළේය. 

“පහුගිය අවුරුදු දෙකේදි අපි (ශ්‍රී ලංකාව) ආසියානු සත් සාමාජික තරගාවලියට සහභාගි වුණේ නෑ. ඒ හින්දා මේ වෙනකොට අපි ශ්‍රේණිගත කිරීම්වල තරමක් පහළට වැටිලයි ඉන්නෙ. ඉතින් මේ තරගාවලියේ පළමු කණ්ඩායම් 5 අතරට ඇවිල්ලා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට එන එක තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තුව.” යැයි කවිඳු කියා සිටියේය. 

ශ්‍රී ලංකාවට අමතරව ජපානය, හොං කොං රාජ්‍යය, චීනය, මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, පිලිපීනය, උස්බෙකිස්තානය, චීන තායිපේ රාජ්‍යය සහ දකුණු කොරියාව යන රටවල්ද මෙම තරගාවලියට සහභාගි වන අතර ඔවුන් අතරින් මේ දක්වා ආසියානු සත් සාමාජික රග්බි ශූරතාව දිනා ඇත්තේ ජපානය (8), හොං කොං (6) සහ දකුණු කොරියාව (1) පමණි. 

“අපිට පළවෙනි වටයෙදි තරග වදින්න තියෙන්න ජපානය, තායිලන්තය සහ සිංගප්පූරුව එක්ක. එතනින් ජපානය එක්ක තියෙන තරගය අනිත් දෙකට වඩා අපිට ටිකක් අමාරු වෙයි කියල හිතනවා. අනිත් තරග දෙක ගැනත් අපි සුලුවෙන් හිතන්නෙ නෑ. තරගයෙන් තරගය දිනලා ඉස්සරහට යන්න තමයි අපි සැලසුම් කරන්නේ.” යැයි සිය කණ්ඩායමේ සැලසුම් ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායකයා කීය. 

විවිධ හේතු මත මින් පෙර 2023 සහ 2024 වසරවලදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලීන් සඳහා ශ්‍රී ලංකාව සහභාගි නොවූ අතර අවසන් වරට සහභාගි වූ 2022 තරගාවලියේදීද ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ හැකි වූයේ අදියර 2 ක් සඳහා පමණි. එහිදී දැක්වූ දස්කම් අනුව ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ 7 වැනි ස්ථානයට පත්විය. 

මෙවර තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් 2022 වසරේදී පැවැති තරගාවලියේ අදියරට 2 ටම (කොරියාවේදී සහ එක්සත් අරාබි එමීර්හිදී) ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා වන්නේ නායක කවිඳුය. ඔහු හැරුණු කොට දිනාල් ඒකනායක සහ ආකාෂ් මධුෂංක එහි එක් අදියරකට (එක්සත් අරාබි එමීර්හිදී) පමණක් ක්‍රීඩා කළහ. 

“අපේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් 13 දෙනාගෙන් 8 දෙනෙකුගෙම පළවෙනි ජාත්‍යන්තර රග්බි තරගාවලිය තමයි මේක. ඒ කියන්නෙ අපේ සංචිතයේ ජාත්‍යන්තර අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ ඉන්නෙ 5 දෙනයි. ඒත් දක්ෂ තරුණ කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ හින්දා අපේ අත්දැකීම් ඔවුන් එක්ක බෙදාගෙන මේ තරගාවලියට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.” යැයි කවිඳු පැවසීය. 

චීනය බලා පිටිත්ව යෑමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත ජාතික පුහුණුකරු රොඩ්නි ගිබ්ස් මහතා සහ ශම්ලි නවාස් මහතා යටතේ පුහුණු සැසි 6 කට සහභාගි විය. එම පුහුණු සැසි අවසානයේ ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ මූලික සංචිතයකින් අවසන් ක්‍රීඩකයන් 13 දෙනා තෝරාගනු ලැබිණි. 

“මේ තරගාවලියටම කියලා පුහුණුවීම් කරන්න අපිට ලොකු කාලයක් තිබුණෙ නෑ. ඒත් ගිය සතියෙ තිබුණු වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලිය අපිට ලොකු පිටුවහලක් වුණා මේ තරගාවලියට සූදානම් වෙන්න. මොකද මේ තරගාවලියට තේරිලා ඉන්න ක්‍රීඩකයන්ට තරගකාරී මට්ටමේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වුණා වෙළෙඳ සේවා තරගාවලියට සහභාගි වීම තුළින්.” යැයි කවිඳු කියා සිටියේය. 


අදහස් (0)

අපේ බලාපොරොත්තුව පළමු කණ්ඩායම් 5 ට ඇතුළත් වීමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.