Last Update  :  2026-04-25 13:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අධිෂ්ඨානශීලී ගමනක ආරම්භය
නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය

අධිෂ්ඨානශීලී ගමනක ආරම්භය

editorial - 2026 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික රග්බි ක්‍රීඩාවේ දෙවැනි ස්ථානයේ සිටින නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම සහ සම්පූර්ණ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු තරගය හෙට (25 වැනිදා) කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙයි. 

නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව අතර ඇත්තේ පහසුවෙන් පියවිය හැකි පරතරයක් නොවේ. එනිසාම ශ්‍රී ලංකාවට පැමිණෙන නවසීලන්ත රග්බි කණ්ඩායම කිලෝ ග්‍රෑම් 85 ට අඩු ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය යුතු යයි මෙම තරගාවලියේ නිර්මාතෘ ලෙසින් සැලකෙන ඉන්ති මරික්කාර් මහතා පසුගිය වසරේදීම නවසීලන්තය හා එකඟතාවකට පැමිණියේය. 

ශ්‍රී ලංකා රග්බි සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය, වසරක් හැර වසරක්, ශ්‍රී ලංකාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවයි. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරයා ද වන මරික්කාර් මහතාගේ මූලික අභිප්‍රාය වන්නේ ද නවසීලන්තයේ පවතින උසස් මට්ටමේ රග්බි ක්‍රීඩා රටාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. 

නවසීලන්තයේ කි.ග්‍රෑ 85 ට අඩු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් යුත් මෙම තරගාවලිය, ලබන මාසයේදී පැවැත්වෙන ආසියාවේ ඉහළම කණ්ඩායම් 4 (ජපානය හැර) අතර තරගාවලිය සඳහා සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිය දස්කම් මුවහත් කරගැනීම සඳහා ලැබෙන කදිම අවස්ථාවකි. මක්නිසාද යත් පුහුණුවීම් වලදී කොයිතරම් වෙහෙස මහන්සි වූවත්, තරග කිරීමෙන් ලබන අත්දැකීම් ඊට වඩා බරපතල වන බැවිනි. 

පිට පිටම දෙවැනි වරටත් පැවැත්වෙන තරගාවලිය සඳහා මැලිබන් බිස්කට් සමාගම පූර්ණ අනුග්‍රහය දක්වයි. 

තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වන බැවින් මේ දිනවල කොළඹ පවතින අධික උෂ්ණත්වයේ පීඩාවෙන් යම් තරමක් හෝ මිදීමට දෙපිලේම ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. එහි වාසිය ඇත්තේ කොළඹ තුරඟ තරග පිටිය විදුලි බුබුලු වලින් ආලෝකවත් කර තිබීම නිසාය. එහෙත් මැයි 3 වැනිදා තරගය පැවැත්වෙන නිත්තවෙල ක්‍රීඩාංගණයේදී තරගය පස්වරු 4.00 ට ආරම්භ කිරීමට නියමිතය. 

මෙම ක්‍රීඩාංගණ දෙක එකිනෙකට වෙනස් තත්ත්වයන් නිර්මාණය කරන නමුත් නවසීලන්තය වැනි හොඳින් ව්‍යුහගත වූත්, වෘත්තීමය මට්ටමේ සිටින කණ්ඩායමක්, කිසිදු අවස්ථාවක තරගයක් සැහැල්ලුවෙන් බාරගැනීමට සූදානමක් නැත. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නම් තරග දෙකම තියුණු අභියෝගයකි. විශේෂයෙන්ම ඉදිරිපෙළ ක්‍රීඩයන් කිහිප දෙනකු තුවාල ලබා සිටීම ශ්‍රී ලංකා නායක ලසිඳු කරුණාරතිලක හමුවේ ඇති බරපතළම අභියෝගයයි. 

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත ක්‍රීඩකයන් 28 දෙනාගෙන් ක්‍රීඩකයෝ 20 ක් පමණ වත්මන් නවසීලන්ත පිලේ සිටිති. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිවී ඇත්තේ පසුගිය වසරේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් 10 දෙනකු පමණ පිරිසකි. 

“ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් ඉතාමත් දැඩි ප්‍රතිරෝධයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න අපි සූදානම්”

“කොහොමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සැහැල්ලුවෙන් බාරගන්න අපි සූදානම් නෑ. මොකද පසුගිය අවුරුද්දේදී එයාලා තරගය පැරදුනත්, අපට හොඳ තරගයක් දුන්නා” යයි නවසීලන්තයේ කි.ග්‍රෑ. 85 ට අඩු කණ්ඩායමේ නායක ජෙරාඩ් පර්සිවල් පැවසීය. 

 


අදහස් (0)

අධිෂ්ඨානශීලී ගමනක ආරම්භය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.