Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner මහනුවර පළමු කොටසේ ශූරතාව දිනාගනී

මහනුවර පළමු කොටසේ ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන I වැනි කොටසේ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව පිට පිටම පස්වැනි වරටත් දිනාගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අද (03) සමත් විය. හැව්ලොක්ස් පිලට අනු ශූරතාව හිමිවිය.  මහනුවර පිල 2015 වසරේ සිට අඛණ්ඩව ලීග් ශූරතාව දිනාගැනීමට සමත්ව සිටී.

මෙවර තරගාවලියේ ‘සුපිරි’ වටයේ ‘කුසලාන’ ශූරතාව වෙනුවෙන් හැව්ලොක්ස් පිල සහ මහනුවර පිල අතර හැව්ලොක්ස් පිටියේදී ඊයේ පැවැති තීරණාත්මක තරගයෙන් මහනුවර පිල ලකුණු 21-19 ක ජයක් ලැබීය.

මෙම ජයග්‍රහණයත් සමඟ මහනුවර පිල මෙවර තරගාවලියේ තරග 16 යේදී තරග 13 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 80 ක් හිමිකරගැනීමට සමත් විය. හැව්ලොක්ස් පිල තරග 16 යේදී තරග 13 ක් ජය ලබමින් ප්‍රසාද ලකුණු 77 ක් ලැබීය.

මහනුවර පිලට පසුගිය වසරේ මෙන්ම ශූරතාවට පැමිණීමට අතිරේක ප්‍රසාද ලකුණු තීරණාත්මක සාධයක බවට පත්වූ අතර මහනුවර පිල තරග 16 කදී අතිරේක ප්‍රසාද ලකුණු 15 ක් හිමිකරගැනීමට සමත් විය. හැව්ලොක්ස් පිල තරග 16 කදී අතිරේක ප්‍රසාද ලකුණු 12 ක් පමණක් ලබාගෙන තිබුණි.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට මහනුවර පිල ලකුණු 18-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

මහනුවර පිලේ නයිජල් රත්වත්ත දෙවැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. තිළිණ විජේසිංහ 12 වැනි සහ 14 වැනි මිනිත්තුවලදී සාර්ථක කළ දඩුවම් පහර දෙකත් සමගින් මහනුවර පිල ලකුණු 11-0 ක් ලෙස තව දුරටත් පෙරමුණට ඇදුණේය.

නායක රිචඞ් ධර්මපාල 28 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර තැබූ පන්දුවට තිළිණ විජේසිංහ අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 18-0 ක් බවට පත්විය.

මහනුවර පිලට දෙවැනි අර්ධයේ හයවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර තිළිණ විජේසිංහ සාර්ථක කළ අතර ඒ අනුව ලකුණු පුවරුව 21-0 ක් බවට පත්විය.    

දෙවැනි අර්ධයේ 16 වැනි මිනිත්තුවේදී සිතුම් පීරිස් සම්පුර්ණ කළ උත්සාහක දිනුමට ඔහුම අතිරේක ලකුණු මුසුකිරීමෙන් හැව්ලොක්ස් පිල හමුවේ මිනිත්තු 56 ක් පැවැති බිංදුව මැකී ගියේය. ලකුණු පුවරුව 21--7 ලෙස දිස්විය.

හැව්ලොක්ස් පිල වෙනුවෙන් දිනුක අමරසිංහ 32 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 21-12 ක් බවට පත්විය.

හැව්ලොක්ස් පිලේ මිතුන් හපුගොඩ දෙවැනි අර්ධයේ 39 වැනි විනාඩියේදී සම්පුර්ණ කළ උත්සාහක දිනුම රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 21-19 බවට පත්ව ජයග්‍රහණයේ පරතරය ලකුණු දෙකක් බවට පත්විය.  

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

මහනුවර පළමු කොටසේ ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.