Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ක්ලිෆර්ඩ් කුසලානය හැව්ලොක්ස් පිලට

ක්ලිෆර්ඩ් කුසලානය හැව්ලොක්ස් පිලට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩකයෝ අද (24) සමත් වූහ. ගුවන් හමුදා පිලට අනු ශූරතාව හිමිවිය.

කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද පැවැති අවසන් මහ තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 40-21 කින් ගුවන් හමුදා පිල පරාජය කළේය. හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-14 ලෙස ඉදිරියෙන් සිටියේය.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන රග්බි ශූරතාව වසර 38 ක පසුව ජය ලැබීම මෙහිදී කැපී පෙනේ. හැව්ලොක්ස් පිල අවසන් වරට 1981 වසරේ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන දිනාසිටියේය.

තරගයේ සිවුවැනි මිනිත්තුවේදී මිතුන් හපුගොඩ හැව්ලොක්ස් පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. රීසා මුබාරක් එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් හැව්ලොක්ස් පිල ලකුණු 7-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.

ගුවන් හමුදා පිලට 12 වැනි මිනිත්තුවේදී චාල්ස් ප්‍රවීන් සම්පූර්ණ කළ උත්සාහක දිනුම චරිත් සෙනෙවිරත්න ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 7-7 ක් ලෙස සමවිය.

හැව්ලොක්ස් පිලට 13 වැනි මිනිත්තුවේදී සයන් සබාර් ද, 19 වැනි මිනිත්තුවේදී චාමර දාබරේ ද, උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළ අතර රීසා මුබාරක් ඒවා ගෝල බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව හැව්ලොක්ස් පිල ලකුණු 21-7 ක් ලෙස පරතරය වැඩිකරගත්තේය.

ගුවන් හමුදා පිලට පළමු අර්ධය අවසන් වීමට මිනිත්තුවක් පමණ තිබියදී ඉෂාර මධුෂාන් එකතු කළ උත්සාහක දිනුමට චරිත් සෙනෙවිරත්න අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 21-14 ක් බවට පත්විය.
රීසා මුබාරක් දෙවැනි අර්ධයේ හයවැනි සහ 11 වැනි මිනිත්තුවලදී දඩුවම් පහර දෙකක් සාර්ථක කරමින් හැව්ලොක්ස් පිල ලකුණු 27-14 ක් ලෙස පෙරමුණෙන් තැබීය.

තිළිණ බණ්ඩාර 19 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් චරිත් සෙනෙවිරත්න ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ගුවන් හමුදා පිල ලකුණු 21-27 ක් ලෙස ලකුණු පරතරය හයක් බවට පත්කරගත්තේය.
ලසිඳු කරුණාතිලක 24 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට තවත් උත්සාහක දිනුමක් එකතු කළ අතර රීසා මුබාරක් එයට අතිරේක ලකුණු මුසු කිරීමෙන් අවදානම තුනී විය. ඒත් සමඟ ලකුණු තත්ත්වය 34-21 ක් බවට පත්විය.

රීසා මුබාරක් තරගයේ අවසන් මිනිත්තු 10 තුළදී තවත් දඩුවම් පහර දෙකක් සම්පූර්ණ කරමින් හැව්ලොක්ස් ලකුණු සංඛ්‍යාව 40 ක් බවට පත්කළේය.   

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ක්ලිෆර්ඩ් කුසලානය හැව්ලොක්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.