Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති
අන්තර් සමාජ රග්බි ලීගය

සී.එච්. ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

editorial - 2022 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර අද (5 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරග‍යෙන් ලකුණු 22-15 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 6 කට සහභාගි වී සිටින සී.එච්. ක්‍රීඩා සමාජය එහිදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය‍.

ගෝල දිනුමක් සහ උත්සාක දිනුමක් සමග ලකුණු රැස්කළ ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-05 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සී.එච්. ක්‍රීඩා සමාජය පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සමගිනි.

තරගයේ 13 වැනි 20 වැනි විනාඩිවලදී පිට පිටම උත්සාහක දිනුම් දෙකක් ලබාගැනීමට ගුවන් හමුදාවේ දර්ශන තරිඳු දාබරේ සමත් වූ අතර ගයන්ත ඉද්දමල්ගොඩ ඉන් දෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කර ගත්තේය. පළමු අර්ධය නිමාවීමට විනාඩි 5 ක් ඉතිරිව තිබියදී එනම් 35 වැනි විනාඩියේදී අෂාන් ඩාලිං සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේය.

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලි ලෙස තරගයට අවතීර්ණ වූ සී.එච්. ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කරද්දී, ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ දඬුවම් පහරක් මගින් පමණි. ගුවන් හමුදාව වෙනුවෙන් ගයන්ත ඉද්දමල්ගොඩ 70 වැනි විනාඩියේදී එම දඬුවම් පහර සාර්ථක කරගත්තේය.

සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔමල්ක ගුණරත්න 46 වැනි විනාඩියේදීද, හිරන්ත පෙරේරා 49 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් දෙකෙහි ප්‍රවර්ථනයන් මෙන්ම 66 වැනි විනාඩියේදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ රෝහිත රාජපක්ෂ විසිනි.

සී.එච්. කණ්ඩායමේ ෂෙහාන් ඩයස් (72 වැනි විනාඩියේදී), අවන්ත ලී (74 වැනි විනාඩියේදී), සුදර්ශන මුතුතන්ත්‍රි (76 වැනි විනාඩියේදී) සහ ඔමල්ක ගුණරත්න (79 වැනි විනාඩියේදී) විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක් ලැබූහ. මෙම තරගය තුළදී සී.එච්. කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 7 ක්ද, ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 6 ක්ද සිදු කළහ.


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.