Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පිලට බැට දෙති
අන්තර් සමාජ රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පිලට බැට දෙති

editorial - 2023 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ ඉකුත් සෙනසුරාදා (7 වැනිදා) කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-19 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 20-09 ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පෙරමුණේ පසුවිය. දෙවැනි අර්ධය තුළ සී.ආර්. කණ්ඩායම ලකුණු 7 ක් ලබාගනිද්දී, සී.එච්. කණ්ඩායම ලකුණු 10 ක් ලබාගත්තද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයේ ජය සී.ආර්. කණ්ඩායමට හිමි විය.
 
පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් සමගින් ලකුණු රැස්කළ සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුමක් ලබාගත්හ. පළමු අර්ධයේදී දඬුවම් පහර 3 කට සීමා වූ සී.එච්. කණ්ඩායමේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී තවත් දඬුවම් පහරක් සහ ගෝල දිනුමක් ඇතුළත් විය.

මාර්ෂෙඩ් දොරේ 14 වැනි විනාඩියේදීද, ගැමුණු චේතිය 36 වැනි සහ 54 වැනි විනාඩිවලදීද සී.ආර් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම් තුනෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ මොහාන් චතුර විසිනි. ඉන් නොනැවතුන මොහාන් සිය කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර 2 ක්ද සාර්ථක කර ගත්තේය.

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ ජනිඳු දිල්ෂාන් විසිනි. ඒ තරගයේ අවසන් විනාඩියේදීය. එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය මෙන්ම ඉන් පෙර සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 4 ක්ද සාර්ථක කරගැනීමට නෙත්මිණ හිරුෂ සමත් විය.

මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායමේ වගීෂ වීරසිංහ (39 වැනි විනාඩියේදී), කවිඳු ද කොස්තා (63 වැනි විනාඩියේදී), මනිල්ක සුලක්ෂණ (67 වැනි විනාඩියේදී), රවීන් ද සිල්වා (69 වැනි විනාඩියේදී) සහ මොහාන් චතුර (78 වැනි විනාඩියේදී) යන ක්‍රීඩකයෝ විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පිලට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.