Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාවේ රග්බි ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ශ්‍රී ලංකාවේ රග්බි ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

editorial - 2025 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-21 ක ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් විය. එහිදී ලද පරාජයත් සමග 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවද ගිළිහී ගියේය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 22-16 ලෙස පෙරමුණ ගත් එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධය තුළ තවත් ලකුණු 7 රැස්කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකාවට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. එක්සත් අරාබි එමීර් පිල ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් මෙම තරගයේදී ලකුණු ලබාගත් අතර ශ්‍රී ලංකාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 ක් මගිනි.
 
තරගයේ 6 වැනි විනාඩියේදී ජැක් ස්ටෙප්ලි ලබාගත් උත්සාහක දිනුමත්, මැක්ස් ජොන්සන් සාර්ථක කරගත් ප්‍රවර්ථනයත් සමග 07-00 ක් ලෙස ලකුණු ලබාගැනීම ආරම්භ කළ එක්සත් අරාබි එමීර් පිල, 13 වැනි විනාඩියේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 5 ක් එක්කර ගත්තේ බ්‍රැඩ්ලි ජේන්ස් ලබාගත් උත්සාහක දිනුමත් සමගිනි. ඒ අතර වාරයේ 11 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ශ්‍රී ලංකා නායක තරින්ද රත්වත්තේ සිය කණ්ඩායමට පළමු ලකුණ ලබාදුන්නේය. 

මොහොමඩ් රිෆාන් විසින් 19 වැනි විනාඩියේදී ලබාගන්නා ලද උත්සාහක දිනුමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් හිස එසවීය. එහි ප්‍රවර්ථනය මෙන්ම 23 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, ලකුණු 13-12 ක් ලෙස සිය කණ්ඩායම පළමු වරට තරගයේ පෙරමුණට ගෙන ආවේය. කෙසේ වුවත් 30 වැනි විනාඩියේදී මැක්ස් ජොන්සන් සාරථක කරගත් දඬුවම් පහර සමග ලකුණු 15-13 ක් ලෙස නැවතත් තරගයේ පෙරමුණට පැමිණීමට එක්සත් අරාබි එමීර් පිල සමත් විය. 

පළමු අර්ධය නිමාවීමට විනාඩියක් ඉතිරිව තිබියදී එක්සත් අරාබි එමීර් පිල වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම ලබාගැනීමට සකිවුසා නයිසාවු සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් මැක්ස් ජොන්සන් 22-13 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය වැඩි කළේය. එහෙත් පළමු අර්ධයේ අවසන් විනාඩියේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, එම පරතරය ලකුණු 3 කින් අඩු කළේය. 

දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමග 43 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගැනීමට ශාමික කෞෂාන් සමත් වූ නමුත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට තරින්ද අපොහොසත් විය. ඒ අනුව ලකුණු තත්වය 22-21 ක් බවට පත් විය. එතැන් පටන් පැය භාගයකට ආසන්න කාලයක් දෙපිලම කරට කර සටනක නිරත වූ අතර එහිදී දෙපිලටම ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නොලැබිණ. 

කෙසේ වුවත් තරගය නිමා වීමට විනාඩි 8 ක් තිබියදී (72 වැනි විනාඩියේදී) සිය දෙවැනි උත්සාහක දිනුම ලබාගත් ජැක් ස්ටෙප්ලි, ලකුණු තත්වය 27-22 ක් බවට පත් කළේය. ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් එය ගෝල දිනුමක් බවට පත්කළ මැක්ස් ජොන්සන් නිමිතය කාලය අවසන් වන විට සිය කණ්ඩායමට ලකුණු 8 ක ජයක් ලබාදීමට දායකත්වය දැක්වීය.
 
තරගයේ 60 වැනි විනාඩියේ සිට එක්සත් අරාබි එමීර් ක්‍රීඩක ඇන්ඩෘ ස්ම්පිලිද, 65 වැනි විනාඩියේ සිට ශ්‍රී ලංකා ක්‍රීඩක විමුක්ති ගමගේද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලබා විනාඩි 10 බැගින් පිටියෙන් ඉවත්ව සිටියහ. තරගයේ වීරයා ලෙස එක්සත් අරාබි එමීර් ක්‍රීඩක සකිවුසා නයිසාවු සම්මාන දිනාගත්තේය. 

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ශ්‍රී ලංකාවේ රග්බි ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.