Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාවට රග්බි ලෝක කුසලාන වරම් අහිමි වෙයි

ශ්‍රී ලංකාවට රග්බි ලෝක කුසලාන වරම් අහිමි වෙයි

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු රග්බි ශූරතාවලිය යටතේ සහභාගි වූ මුල් තරග දෙකේදීම පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 2027 වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. 

මේ දක්වා සහභාගි වූ තරගවලදී කොරියාව හමුවේ ලකුණු 38-34 ක් ලෙසත්, හොං කොං රාජ්‍යය හමුවේ ලකුණු 78-07 ක් ලෙසත් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, මේ වන විට ලකුණු සටහනේ පතුළටම වැටී සිටියි. කෙසේ වුවත් කොරියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 7 කට අඩු සංඛ්‍යාවකින් පරාජය වීමත්, එහිදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගැනීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 2 ක් හිමිව තිබේ. 

මෙතෙක් සහභාගි වූ තරග 2 ම ප්‍රසාද ලකුණු 2 ක් සමග ජය ගෙන සිටින හොං කොං කණ්ඩායම ලකුණු 10 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි. තරගයක් ජය ගෙන, තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 3 ක් සමග ලකුණු 7 ක් ලබා සිටින දකුණු කොරියාව පසුවන්නේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේය. එහි තෙවැනි ස්ථානයේ පසුවන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රසාද ලකුණක් සමග ලකුණු 5 ක් ලබා සිටින්නේද එක් තරගයක් ජය ගෙන සෙසු තරගය පරාජය වෙමිනි. 

ඒ අනුව ජූලි මස 4 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කොළඹදී පැවැත්වීමට නියමිත තරගය ප්‍රසාද ලකුණක් සමග ජය ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවේ මුලු ලකුණු සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ යනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ගමනේ ඉදිරියට යෑම සඳහා එම ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. 

ජූලි 5 වැනි හොං කොං සහ දකුණු කොරියාව අතර ඉන්චෝන්හි පැවැත්වෙන තරගයේදී දකුණු කොරියාව ප්‍රසාද ලකුණු නොලබා පරාජයට පත්වුව හොත් පමණක් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවද තවදුටරත් 7 ක් ලෙසම පවතිනු ඇත. එවිට ශ්‍රී ලංකාවේ සහ දකුණු කොරියාවේ ලකුණු සංඛ්‍යාවන් සමාන වන අතර සහභාගි වූ තරගවලදී ලබාගත් සහ ලබාදුන් ලකුණුවල පරතරය අඩුම කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වනු ඇත. 

ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගනිමින් ආසියානු ශූරතාවලිය ජයගන්නා කණ්ඩායම, ඍජුවම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නා අතර ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙමින් ආසියානු ශූරතාවලියේ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවත් තේරීම් කඩයිම් දෙකක් තරණය කිරීමට සිදුවනු ඇත. 

දැනට පවතින තත්වය අනුව ශ්‍රී ලංකාවට කිසිදු අයුරකින් ආසියානු ශූරතාවලිය ජය ගැනීමට හැකියාවක් නොමැති අතර ඉහත කී පරිදි ලකුණු තත්වය අනුව දකුණු කොරියාව සමග සම වුවද, ලකුණු පරතරය අනුව දකුණු කොරියාව පසුපසට ඇද දමමින් ආසියානු ශූරතාවලියේ අනු ශූරයන් බවට පත්වීමට ඇති අවස්ථාවද ඉතා අල්පය. ඊට හේතුව මේ වන විට දකුණු කොරියාවේ ලකුණු පරතරය 2 ක් ලෙසත්, ශ්‍රී ලංකාව් ලකුණු පරතරය -75 ක් ලෙසත් පැවතීමය. 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රග්බි ලෝක කුසලාන වරම් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.