Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙනස්කම් 3 ක් සමග ශ්‍රී ලංකා රග්බි පිල හොංකොං බලා යයි

වෙනස්කම් 3 ක් සමග ශ්‍රී ලංකා රග්බි පිල හොංකොං බලා යයි

editorial - 2025 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමය සංවිධානය කරන 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හොං කොං රාජ්‍යයට එරෙහිව අනිද්දා (22 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 සිට හොං කොංහි කයිතක් යොවුන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (19 වැනිදා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. 

හොං කොං රාජ්‍යය සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රග්බි තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වදින 9 වැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර දෙරට අතර පැවැති තරග 8 ම ජය ගෙන ඇත්තේ හොං කොං පිලය. අවසන් වරට මෙම කණ්ඩායම් දෙක අතර තරගයක් පැවැත්වී ඇත්තේ මීට වසර 11 කට පෙර 2014 වසරේ පැවැති ආසියානු රග්බි ශූරතාවලියේදීය. එම තරගය ජය ගැනීමට හොං කොං රාජ්‍යය සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට ලකුණු 41-10 ක අමිහිරි පරාජයක් උරුමකර දෙමිනි. 

එම තරගයට පෙර 1980, 1988, 1990, 1993, 2003, 2006 සහ 2011 යන වසරවලදීද ආසියානු රග්බි ශූරතාවලිය යටතේ දෙරට අතර තරග පැවැත්වී ඇති අතර එහිදී පහසුවෙන්ම ශ්‍රී ලංකාව පරාජයට කිරීමට හොං කොං රාජ්‍යයට හැකි වී තිබේ. එම තරගවල ලකුණු තත්වයන් සටහන් වන්නේ පිළිවෙළින් 47-00 ක්, 45-03 ක්, 21-13 ක්, 21-13 ක්, 36-22 ක්, 45-14 ක් සහ 48-03 ක් ලෙසිනි. 

කෙසේ වුවත් මීට සතියකට පමණ පෙර ආසියානු රග්බි ශූරතාවලිය යටතේ කොරියාවට එරෙහිව පැවැති තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව ලකුණු 38-34 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙම තරගයේදී හොං කොං රාජ්‍යයට හොඳ අභියෝගයක් එල්ල කිරීමට සූදානමින් සිටියි. තරගාවලියේ පළමු වටය නිමාවට පත්වන විට හොං කොං රාජ්‍යය ලකුණු 5 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර ලකුණු 2 ක් ලබා ඇති ශ්‍රී ලංකාව පසුවන්නේ එහි තෙවැනි ස්ථානයේය. 

දකුණු කොරියාවට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය වෙනස්කම් 3 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී දිල්ෂාන් ජයා, චතුර සොයිසා සහ හිරන්ත පෙරේරා යන ක්‍රීඩකයන් වෙනුවෙට ශාහිඩ් සුම්රි, ශාමික කෞෂාන් සහ මලිත් විජේසුන්දර යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. 

හොං කොං රාජ්‍යයට අමතරව මෙවර ආසියානු රග්බි ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට ජූලි මස 4 වැනිදා එක්සත් අරාබි රාජ්‍යයට එරෙහිවද කොළඹදී තරග වැදීමට සිදුවනු ඇත. 2027 වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශූරයන් බවට පත්විය යුතුය. 

යම් හෙයකින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අනු ශූරයන් බවට පත්වුව හොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් කඩයිම් දෙකක් තරණය කිරීමට සිදුවනු ඇත. එහෙත් මෙම තරගාවලියේ තෙවැනි හෝ සිවුවැනි ස්ථානවලට පත්වුවහොත් ශ්‍රී ලංකාවට එළබෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවනු ඇත. 

මේ වන විට හොං කොං රාජ්‍යය ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි 23 වැනි ස්ථානයේද, ශ්‍රී ලංකාව එහි 40 වැනි ස්ථානයේදී පසුවන අතර මෙම තරගයේදී හොං කොං රාජ්‍යය පරාජය කිරීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්හි තවත් ඉහළට යෑමටද අවස්ථාව උදාවනු ඇත. 


ශ්‍රී ලංකා රග්බි සංචිතය
තරින්ද රත්වත්තේ (නායක), සෙනුර පෙරේරා, පුලස්ති දසනායක,තනූජ ජයවීර, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, ළහිරු තිලකරත්න, තරිඳු චතුරංග, ලසිඳු කරුණාතිලක, හේෂාන් ජැන්සන්, දිනාල් ඒකනායක, අකාෂ් මධුෂංඛ, ඇඩම් ගෞඩර්, පසිඳු බණ්ඩාර, මූර්ෂීඩ් දොරෙයි, මලිත් විජේසුන්දර, වෙනුර කෝදාගොඩ, විමුක්ති ගමගේ, ෂෙනාල් අධිකාරම්, දැහැන් වික්‍රමාරච්චි, මොහොමඩ් රිෆාන්, තේනුක නානායක්කාර, ධනුෂ්ක රන්ජන්, ශාමික කෞෂාන් සහ ශාහිඩ් සුම්රි සහ රොඩ්නි ගිබ්ස් මහතා (පුහුණුකරු) 


අදහස් (0)

වෙනස්කම් 3 ක් සමග ශ්‍රී ලංකා රග්බි පිල හොංකොං බලා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.