Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ලෝකෙට ලොක්කෝ ජූලියේදී විමසුමකට එති
රග්බි අර්බුදය

ලෝකෙට ලොක්කෝ ජූලියේදී විමසුමකට එති

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් ලබන ජූලි මාසයේදී විමර්ශනයක් ආරම්භ කරන බව රග්බි ක්‍රීඩාවේ අන්තර්ජාතික පාලනාධිකාරිය වන ‘ලෝක රග්බි’ ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට දන්වා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ දැඩි තීරණ කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දේශපාලනීකරණයට නතු වී ඇතැයි ප්‍රකාශ කළ ලෝක රග්බි (සංවිධානය) මැයි මස 17 වැනිදා ශ්‍රී ලංකා රග්බි (ආයතනයේ) සාමාජිකත්වය තහනම් කළේය.

මෙම තහනම බලපැවැත්වෙන තුරු, සියලුම ආකාරයේ අන්තර්ජාතික රග්බි තරගවලින් ඉවත්වීමට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ. ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාවද ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීමට ඉඩ තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව පාලනය වන්නේ ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද රග්බි ස්ථාවරකරණ කමිටුවක් මගිනි. චූලා ධර්මදාස මහතා එහි සභාපති තනතුරේ කටයුතු කරයි.

ලෝක රග්බි (සංවිධානයේ) විමර්ශනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බලන අධක්‍ෂ ජනරාල් අනුර මුතුමාල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ ලෝක රග්බි ආයතන නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරාධනයෙන් බවයි.

“ලෝක රග්බි ආයතනයෙන් ශ්‍රී ලංකාවට තහනමක් පැනෙව්වාට පස්සේ ක්‍රීඩා ඇමතිවරයා ලෝක රග්බි ආයතනයට ලිව්වා. ලියලා කිව්වේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා බලලාම තීරණයක් ගන්න කියලයි. ඒ අනුව තමයි ලෝක රග්බි ආයතනයෙන් එන්නේ... ඒත් එයාලා එන දවසක් ගැන නම් තාම කියලා නෑ” යයි අනුර මුතුමාල මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත්කරන ලද ‘රග්බි ස්ථාවරකරණ කමිටුව’ සමගත් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ලෝක රග්බි ආයතනයෙන් දැනුම් දී තිබේ.

“ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස අපි පිළිගනිමු. එහෙත් ලෝකයේ රග්බි ක්‍රීඩාවට අදාළ අතුරු නීතිවලට අනුකූල වීම සහතික කෙරෙන තත්ත්වයක් කරා ළඟා වීමට නම්, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ පරිපාලනය සම්බන්ධ ගැටළු පිළිබඳව ද ලෝක රග්බි (සංවිධානය) තවදුරටත් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ. ඒ අනුව ලෝක රග්බි (සංවිධානය) මෙම කරුණු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරන අතරම, එය ආසියානු රග්බි (සංවිධානය) සමඟ ඒකාබද්ධව කිරීමට තීරණය ඇත”

“මෙම සමාලෝචන ක්‍රියාවලියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වීම ද අපගේ අභිප්‍රායකි. මෙම කරුණු තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව අපගේ කෘතඥතාව පළකර සිටිමු” යයි ද ලෝක රග්බි (සංවිධානය) විසින් ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
 
මේ වසරේ අප්‍රේල් මස 12 වැනිදා, ශ්‍රී ලංකා රග්බි (ආයතනය) විසුරුවා හළ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින්, රග්බි ක්‍රීඩාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා 9 දෙනකුගෙන් සමන්විත ස්ථාවරකරණ කමිටුවක් නම්කළ අතර එහි සභාපතිවරයා ලෙසින් චූලා ධර්මදාස මහතා පත්කරන ලදි. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම සී.ආර්. සහ තර්ස්ටන් විදුහල් කණ්ඩායම් ද නියෝජනය කළ චූලා ධර්මදාස මහතා ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සභාපතිවයරයා ද වෙයි.

ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා රග්බි ස්ථාවරකරණ කමිටුවේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරයි. තුසිත පීරිස් (භාණ්ඩාගාරික), කිෂාන් මුසාෆර්, ශවන්ත ද සේරම්, ගෲප් කපිතාන් සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක, බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ සහ දමිත් විතාරණගේ මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.


අදහස් (0)

ලෝකෙට ලොක්කෝ ජූලියේදී විමසුමකට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.