Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ දුර ඉලක්කයක් අල්ලති
බ්‍රැඩ්බි පළිහ - පළමු අදියර

රාජකීයයෝ දුර ඉලක්කයක් අල්ලති

editorial - 2023 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර අටක් තිස්සේ බ්‍රැඩ්බි පළිහ තමන් සන්තකයේ රඳවාගෙන සිටින රාජකීයයෝ මේ වසරේ බ්‍රැඩ්බි තරගයේදී වසර 66 ක් පැරණි වාර්තාවක් ඉලක්ක කරගෙන සිටිති. ශ්‍රී ලංකාවේ පාසල් රග්බි තරග ඉතිහාසයේ දීර්ඝතම තරගාවලිය වන ‘බ්‍රැඩ්බි’ පළිහ තරගාවලියේ 77 වැනි තරගයේ පළමු අදියර අද (22 වැනිදා) පල්ලෙකැළේ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පිටියේදී පැවැත්වෙයි.

ශත වර්ෂයක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන රාජකීය - ත්‍රිත්ව රග්බි තරග ආරම්භ වන්නේ 1920 දීය. එක දිගට පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරයන්ට, 1945 දී, එවකට රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති ඊ. එල්. බ්‍රැඩ්බි මහතා විසින් ශූරතා පළිහක් ප්‍රදානය කරනු ලබයි. එතැන් සිට තරගාවලිය ‘බ්‍රැඩ්බි පළිහ’ නම් විය.

එදා සිට පැවැති ‘බ්‍රැඩ්බි පළිහ’ තරග වලින්, රාජකීය විදුහල 35 වතාවක්ද, ත්‍රිත්ව විදුහල 39 වතාවක් ද ජයගෙන තිබේ.

පසුගිය වසරේදීත් අදියර දෙකේම ලකුණු එකතුව අනුව ලකුණු 50-26 කින් බ්‍රැඩ්බි පළිහ දිනාගත් රාජකීය කණ්ඩායම මේ වසරේදී රන්දුල් සේනානාක විසින් මෙහෙයවනු ලබයි. අතාබ් මන්සිල් ත්‍රිත්ව පිල මෙහෙයවයි.

මෙවර අන්තර් පාසල් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තය නිමා වන විට තරග 5 කට සහභාගි වී, තරග 4 ක් ජයගෙන සිටින රාජකීය කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි කොටසේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටී. එම කාණ්ඩයෙන්ම තරග කරන ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම තරග 4 කින් 2 ක් ජයගෙන 2 ක් පරාජය වීම නිසා ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට පත්වී තිබේ.

මෙවර පාසල් රග්බි වාරයේදී රාජකීය විදුහල සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 25 කි. ත්‍රිත්ව විදුහල සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 කි.

ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි තැනට වැටී සිටින නමුත්, බ්‍රැඩ්බි තරගාවලියේ පළමු අදියර පල්ලෙකැළේදී, තම ආධාරකරුවන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ පැවැත්වීම ත්‍රිත්ව විදුහලට තරමක වාසියකි. අනෙක් අතට මෙම තරගවාරයේදී රාජකීය විදුහල කන්ද උඩරටදී තරග වදින්නේත් පළමු වැනි වතාවටය. “එහි වාසියත් ත්‍රිත්ව පිලටම තිබේ” ය යන්න තවත් තර්කයකි.

ඒ කාරණා දෙකම එසේ විය හැකි නමුත් රග්බි යන්න අවිනිශ්චිත ක්‍රීඩාවක් නොවේ. රග්බි තරගයක ජයග්‍රහණය බොහෝ විට කණ්ඩායමක කාය ශක්තිය, ජවය සහ ඉදිරියට යාමේදී ඇතිකරනු ලබන තෙරපුම් බලය මත ර`ඳා පවතින්නකි. එබැවින් වඩාත් ශක්තිමත් කණ්ඩායම ඉදිරියට යාම වැළැක්වීම අසීරු ව්‍යායාමයකි.

එවන් කණ්ඩායමකට අභියෝග කිරීමේදී, පුහුණුකරු ෆසිල් මරීජාගේ උපායශීලීත්වය ත්‍රිත්ව විදුහල වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් කරනු නිසැකය. ත්‍රිත්ව ක්‍රීඩකයන්ට ඇති වාසිය වන්නේ තරගය පුරාම තමන්ගේ ආක්‍රමණය පවත්වාගැනීමට තරම් ඔවුන් ශක්ති සම්පන්න වීමයි.

දෙපිලම හමුවේ ඇති අභියෝගය වන්නේ තරගයේ වාසිය අත්පත් කරගැනීම නොව, එය දිගටම පවත්වා ගැනීමයි.

එක දිගට බ්‍රැඩ්බි පළිහ සිව් වතාවක් දිනාගත් ත්‍රිත්ව විද්‍යලය, අවසන් වරට ජයගත්තේ 2014 දී තරින්ද රත්වත්තේගේ නායකත්වයෙනි. 2015 දී භානුක ගමගේගේ නායකත්වය යටතේ බ්‍රැඩ්බි පළිහ දිනාගත් රාජකීය විද්‍යාලය එදා සිට මේ දක්වා බ්‍රැඩ්බි තරගාවලියේ අපරාජිතව සිටී. 2016 දී ලකුණු ලකුණු 35-35 ක් ලෙසින් (22-17 සහ 13-18) සම්පූර්ණ තරගය සමවිය. 2020 සහ 2021 වසර වලදී කොරෝනා වසංගතය නිසා බ්‍රැඩ්බි තරග නොපැවැති අතර පසුගිය වසරේදී කවීන් සසංකගේ නායකත්වය යටතේ රාජකීය විද්‍යාලය විසින් බ්‍රැඩ්බි පළිහ ජයගන්නා ලදි.

කෙසේ වෙතත් රාජකීය - ත්‍රිත්ව බ්‍රැඩ්බි ඉතිහාසයේ එක දිගට පැවැති දීර්ඝතම ජයග්‍රහණ මාලය වන්නේ 1952 සිට 1957 දක්වා තරග හයම ත්‍රිත්ව විද්‍යාලය විසින් ජයගැනීමය. 1952 දී ඒ.බී. වැන් ට්වෙස්ට්ගේ නායකත්වය යටතේ තරගය ජයගත් ත්‍රිත්ව විද්‍යාලය එක දිගටම වසර 6 ක් බ්‍රැඩ්බි පළිහ දිනාගත්තේය. රන්දුල් සේනානායකගේ රාජකීය කණ්ඩායම ඉලක්කය කරගෙන ඇත්තේ එයයි.

රාජකීය රග්බි කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන් එන්.ඩී.බී. බැංකුව කටයුතු කරන අතර මෙවර බ්‍රැඩ්බි තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වන්නේත් එන්.ඩී.බී. බැංකුවයි.

“රග්බි කියන්නේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජනප්‍රියත්වය හිමි ක්‍රීඩාවයි. එම ක්‍රීඩාව නඟාසිටුවීම සම්බන්ධයෙන් අපටත් වගකීමක් තියෙනවා කියන එකයි අපේ අදහස...වසර 103 ක දීර්ඝ ඉතිහාසයක් පුරා රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව, දුෂ්කරතා මැදින්, දිගු ගමනක් ඇවිත් තියෙනවා” යයි රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට අනුග්‍රහය ප්‍රදානය කරමින් එන්.ඩී.බී. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.

2023 බ්‍රැඩ්බි තරගාවලියේ දෙවැනි අදියර අගෝස්තු මස 5 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙයි.


අදහස් (0)

රාජකීයයෝ දුර ඉලක්කයක් අල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.