හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතුන් වන ශ‍්‍රී ලංකා නාවික හමුදා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ සහ යුද හමුදා රග්බි පිලේ නායක රෝහිත රාජපක්‍ෂ ඉදිරි තරගවලට සහභාගි නොකරන ලෙස ආරක්‍ෂක අංශ කණ්ඩායම් දෙකේ නිලධාරීන්ට දැනුම්දී ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගවලින් දැනගන්නට තිබේ.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා තරගවලට සහභාගි නොකරන ලෙස නාවික සහ යුද හමුදා ප‍්‍රධානීන් විසින් රග්බි කණ්ඩායම් නිලධාරීන්ට පසුගියදා දැනුම් දෙන ලද බවත් වාර්තා වේ.
මේ පිළිබදව කළ විමසුමකදී යුද හමුදා කණ්ඩායමේ නිලධාරියකු පැවසුවේ රෝහිත රාජපක්‍ෂ තරගවලට සහභාගි නොකරන ලෙස යුද හමුදාපතිවරයා රග්බි කමිටු සභාපතිවරයාට දැනුම්දී ඇති බවයි.
නාවික හමුදා පිලේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ තමන්ට ඒ පිළිබදව කිසිවක් ප‍්‍රකාශකළ නොහැකි බවත් රග්බි කමිටු සභාපතිවරයාගෙන් විමසන ලෙසත්ය.
මෙම තීරණය පිළිබදව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඒ පිළිබදව තමන් කිසිවක් නොදන්නා බවත් එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.
”මම රග්බි සංගමය සමඟ මේ දක්වා කථා කරලවත් නෑ. ඇතැම් අය ප‍්‍රචාරයක් ගෙන යනවා මේක මගේ තීරණයක් කියලා....මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මේකට මගේ සම්බන්ධයක් නෑ” යැයි ක‍්‍රීඩා අමාත්‍ය දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලූතිනන්වරයකු වන යෝෂිත රාජපක්‍ෂ 2011 වසරේ සිට වසර හතරක පමණ කාලයක් නාවික හමුදා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර පසුගිය ජනවාරි මස 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසුව පැවැති පළමු කොටසේ ලීග් තරගාවලියේ දෙවැනි වටයේ තරග දෙකටම සහභාගි වූයේ නැත.
රෝහිත රාජපක්‍ෂ පසුගිය වසරේ සිට යුද හමුදා පිලේ නායකයා ලෙස කටයුතු කරමින් ජනාධිපතිවරණයෙන් පසුව ද පැවැති දෙවැනි වටයේ තරග දෙකට සහභාගි විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ද වසර කීපයක් නාවික හමුදා පිලට ක‍්‍රීඩා කළ අතර 2012 වසරවලදී පුතුන් තිදෙනාම නාවික හමුදා පිලට ක‍්‍රීඩා කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.