Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby යුද හමුදාව සටනක් දී මහනුවරට පරදී

යුද හමුදාව සටනක් දී මහනුවරට පරදී

editorial - 2022 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර සෙනසුරාදා (12 වැනිදා) කොළඹ හැව්ලොක් පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 21-17 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති මහනුවර කණ්ඩායම එම තරග 6 ම ජයගෙන සිය අපරාජිත බව රැකගෙන සිටියි.

ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ යුද හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-14 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. මහනුවර කණ්ඩයාම පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සමගිනි. තරගයේ පළමු විනාඩියේදීම උත්සාහක දිනුමක් ලබාගත් සුදාරක දික්කුඹුර යුද හමුදාව වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චි එහි ප්‍රවර්ථන සාර්ථක කරගත්තේය.

ධනුෂ්ක තල්වත්ත තරගයේ 25 වැනි විනාඩියේදී යුද හමුදාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය මෙන්ම 35 වැනි විනාඩියේදී යුද හමුදාවට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගනු ලැබුවේ තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චි විසිනි. දිල්රුක්ෂ දංගේ (20 වැනි විනාඩියේදී) සහ ජේසන් දිසානායක (39 වැනි විනාඩියේදී) පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහ දිනුම් ලබාගත් අතර ප්‍රවර්ථන සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ ඒවා ගෝල බවට පත් කළේය.

දෙවැනි අර්ධයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මහනුවර ක්‍රීඩකයෝ ගෝල දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 7 ක් එක්කරගත් අතර යුද හමුදාවට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදීමටද වග බලාගත්හ. තරගයේ 43 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් නායක නයිජල් රත්වත්තේ එම උත්සාහක දිනුම ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය.

තරගයේ 39 වැනි විනාඩියේදී යුද හමුදා කණ්ඩායමේ මංජුල වීරසිංහ විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය. මෙම තරගයේදී යුද හමුදා කණ්ඩායම කිසිදු ක්‍රීඩක ආදේෂ කිරීමක් සිදු නොකළ අතර මහනුවර කණ්ඩායම එක් ක්‍රීඩක ආදේෂ කිරීමක නිරත විය.


අදහස් (0)

යුද හමුදාව සටනක් දී මහනුවරට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.