Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ යළිත් පෙරමුණට එති
ලීග් රග්බි තරගාවලිය

මහනුවර ක්‍රීඩකයෝ යළිත් පෙරමුණට එති

editorial - 2022 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ 8 වැනි සතිය නිමාවට පත්වන විට යළිත් වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති මහනුවර ක්‍රීඩකයෝ එම තරග 6 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 5 ක් සමග ලකුණු 35 ක් ලබා අපරාජිතව සිටිති.

පළමු සති 3 අවසන්වන තෙක් ලකුණු සටහනේ පෙරමුණ රැකගෙන සිටි මහනුවර කණ්ඩායමට සිවුවැනි සතියේදී යුද හමුදාව සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල් දැමීම හේතුවෙන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. කෙසේ වුවත් ඉකුත් සෙනසුරාදා (12 වැනිදා) හැව්ලොක් පිටියේදී පැවැති තරගයේදී ලකුණු 21-17 ක් ලෙස යුද හමුදාව පරාජය කිරීමට සමත් වීමත් සමග මහනුවර කණ්ඩායමට යළිත් වරක් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකි විය.

හත්වැනි සතිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි හැව්ලොක් ක්‍රීඩා සමාජයට මහනුවර කණ්ඩායමේ ඉහළ නැගීමත් සමග එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. හැව්ලොක් කණ්ඩායමද සහභාගි වූ තරග 6 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 3 ක් සමග ලකුණු 33 ක් ලබා තවදුරටත් සිය අපරාජිත බව රැකගෙන සිටියි. ඒ අනුව මේ මස 20 වැනි ඉරිදා මහනුවර කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර නිත්තවෙලදී පැවැත්වෙන තරගය අපරාජිත බව රැකගැනීමේ තරගයක් බවට පත්ව තිබේ.

මේ අතර තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබාගන්නා සිවුවැනි කණ්ඩායම බවට පත්වීමට පොලිසියට තිබූ අවස්ථා දෙකෙන් එකක් ගිළිහී ගියේ ඉකුත් ඉරිදා (13 වැනිදා) සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේ පැවැති තරගයේදී ලකුණු 25-22 ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙනි. කෙසේ වුවත් එහිදී ප්‍රසාද ලකුණක් ලබාගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ.

එබැවින් මෙම මස 19 වැනි සෙනසුරාදා යුද හමුදාවට එරෙහිව පැවැත්වෙන තරගය පොලිසියට ඉතාමත් තීර්ණාත්මක තරගයක් වනු ඇත. තරගාවලියේ කුසලාන වටයට පිවිසීම සඳහා ඇති අවසන් අවස්ථාව එය බැවින් පොලිස් කණ්ඩායම අනිවාර්යෙන්ම එම තරගය ජයගත යුතු වේ. එහිදී පොලිසිය පරාජයට පත්වුවහොත් මේ වන විට ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන ගුවන් හමුදාවට කුසලාන වටයට පිවිසීම සඳහා අවස්ථාව උදාවනු ඇත.


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ යළිත් පෙරමුණට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.