Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ පොලිස් ග්‍රහණයෙන් මිදෙති
අන්තර් සමාජ රග්බි

මහනුවර ක්‍රීඩකයෝ පොලිස් ග්‍රහණයෙන් මිදෙති

editorial - 2023 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය යටතේ නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් පොලිසියට එරෙහිව ලකුණු 33-19 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමටද මහනුවර කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-07 ක් ලෙස පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 7 ක් ලබාගැනීමට සමත් වූහ. මහනුවර ක්‍රීඩකයන්ට තියුණු තරගයක් දුන් පොලිස් කණ්ඩායම දෙවැනි අර්ධයේදී ලකුණු 12 ක් ලබාගත් නමුත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය මහනුවර කණ්ඩායම සතු විය.

එහිදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 4 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළ අතර පොලිසිය ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 කින් සහ උත්සාහක දිනුමක් මගිනි. පොලිසිය වෙනුවෙන් මොහොමඩ් ෆවුමි (20 වැනි විනාඩියේදී), සචිත් සිල්වා (51 වැනි විනාඩියේදී) සහ දුලාංජන විජේසිංහ (55 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ප්‍රින්ස් චාමර ඉන් ප්‍රවර්ථන දෙකක් සාර්ථක කරගත්තේය.

මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ධනුෂ්ක රංජන් 16 වැනි විනාඩියේදීද, තුවාන් ඩිල්ෂාන් 25 වැනි විනාඩියේදීද, තරින්ද රත්වත්තේ 29 වැනි විනාඩියේදීද, මිලාන් සාරංග 39 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ තරින් රත්වත්තේ විසිනි.

මෙම තරගයේදී පොලිස් කණ්ඩායමේ මොහොමඩ් ෆවුමි 39 වැනි විනාඩියේදීද, මහනුවර ක්‍රීඩා සමාජයේ ජේසන් දිසානායක, දිනාල් ඒකනායක සහ උචිත ජයසූරිය පිළිවෙලින් 46 වැනි, 68 වැනි සහ 79 වැනි විනාඩිවලදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. ඉෂාන් අබේකෝන් මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.

‍තෙවැනි සතියේ තවත් තරග 3 ක් ඉකුත් සිකුරාදා (15 වැනිදා) සහ සෙනසුරාදා (16 වැනිදා) පැවැති අතර එම තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., හැව්ලොක් සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. යන ක්‍රීඩා සමාජ සමත් විය. එම තරගවලදී ඔවුන් හමුවේ ලකුණු 29-05 ක් ලෙස ගුවන් හමුදාවද, ලකුණු 43-41 ක් ලෙස යුද හමුදාවද, ලකුණු 34-14 ක් ලෙස නාවික හමුදාවද පරාජයට පත් විය.


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ පොලිස් ග්‍රහණයෙන් මිදෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.