Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයෝ අවසන් විනාඩියේදී ජය ලබති
අන්තර් සමාජ රග්බි

නාවිකයෝ අවසන් විනාඩියේදී ජය ලබති

editorial - 2023 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ අද (27 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 32-31 ක අතිෂය තියුණු ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය. තරගයේ අවසන් විනාඩියේදී තිළිණ වීරසිංහ විසින් සාර්ථක කරගන්නා ලද දඬුවම් පහරින් නාවික හමුදා කණ්ඩායමේ ජය තහවුරු විය.

දක්ෂ ලෙස තරග වැදුණ ගුවන් හමුදා කණ්ඩායම, තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-10 ක් ලෙස පෙරමුණේ පසුවිය. එහෙත් දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ නාවික හමුදා කණ්ඩායම, එහිදී ලකුණු 22 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේය. එම අර්ධයේදී තරමක පසුබෑමකට ලක්වූ ගුවන් හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණි.

පළමු අර්ධයේදී දඬුවම් පහරක් සහ ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ නාවික හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත්හ. පළමු අර්ධයේදී දඬුවම් පහරක් සහ ගෝල දිනුම් 2 ක් සමග ලකුණු ලබාගත් ගුවන් හමුදා කණ්ඩායම, දෙවැනි අර්ධයේදී ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සමගිනි.

ජනිත් ලක්සර 40 වැනි විනාඩියේදීද, ස්ටෙෆාන් ග්‍රෙගරි 68 වැනි විනාඩියේදීද, මුෂීන් ෆලීල් 77 වැනි විනාඩියේදීද, නිරෝෂන් පෙරේරා 79 වැනි විනාඩියේදීද නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 4 න් තුනක ප්‍රවර්ථනයන් සහ නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහර දෙක (10 වැනි සහ 80 වැනි විනාඩිවල) සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ විසිනි.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් පරාක්‍රම රත්නායක 26 වැනි සහ 38 වැනි විනාඩිවලදීද, නිලන්ත ජයවීර 53 වැනි විනාඩියේදීද, මෙවන් රේවක 62 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් 4 හිම ප්‍රවර්ථනයන් මෙන්ම ගුවන් හමුදා කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද (16 වැනි විනාඩියේදී) සාර්ථක කරගැනීමට නුවන් පෙරේරා සමත් විය.

මෙම තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ මෙනුක පෙරේරා (43 වැනි විනාඩියේදී), ක්‍රිෂාන් සූර්යා (56 වැනි විනාඩියේදී) සහ දෙනුවන් ලක්රද (79 වැනි විනාඩියේදී) ද, නවික හමුදා කණ්ඩායමේ ජනිත ලක්සර (52 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

නාවිකයෝ අවසන් විනාඩියේදී ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.