Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තය යළිත් ලෝකයේ අංක 1 ට

නවසීලන්තය යළිත් ලෝකයේ අංක 1 ට

editorial - 2021 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සතියක් ඇතුළත ආර්ජන්ටිනාවට දෙවැනි දරුණු පරාජය උරුම කර දුන් කළු කමිසකාරයේ ( නවසීලන්තයේ ජාතික රග්බි කණ්ඩායම) සෙනසුරාදා පැවැති තරගයකදී ආර්ජන්ටිනාව පරාජය කරමින් ලෝකයේ රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානය තමන් සතුකර ගත්හ. ඒ බි්‍රස්බේන් නුවරදී පැවැති රග්බි ශූරතාවලියේ තරගයකදී ලකුණු 36-13 කින් ආර්ජන්ටිනාව පරාජය කරමිනි. 

මීට පෙර ලෝකයේ අංක 1 හිමි රග්බි කණ්ඩායම වූයේ දකුණු අප්‍රිකාවයි. 

මෙම රග්බි ශූරතාවලිය ලෝකයේ රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ඉහළින්ම සිටින දකුණු අර්ධගෝලයේ රටවල් අතර වාර්ෂිකව පැවැත්වෙන්නකි. මෙම රග්බි ශූරතාවලියට සහභාගි වන්නේ නවසීලන්තය (1), දකුණු අප්‍රිකාව (2), ඕස්ටේ්‍රලියාව (5) සහ ආර්ජන්ටිනාව (7) යන දකුණු අර්ධගෝලයේ රටවල් පමණි. 

1996 දී ආරම්භ වූ මෙම තරගාවලියේ වැඩිම ශූරතා සංඛ්‍යාවක් (17 ක්) දිනා ඇත්තේද නවසීලන්තයයි. 

රග්බි ශූරතාවලියේ සිවුවැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්වී ඇත. මේ දක්වා සහභාගි වූ තරග 4 ම ප්‍රසාද ලකුණද සමග ජයගැනීමට සමත්ව ඇති නවසීලන්තය ලකුණු 20 ක් ලබා එහි පෙරමුණ ගෙන සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 4 න් 2 ක් ප්‍රසාද ලකුණද සමග ජයගෙන සිටින දකුණු අප්‍රිකාව ලකුණු 10 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. 

සෙනසුරාදා (18 වැනිදා) පැවැති තරගවලදී ලකුණු 30-17 ක් ලෙස දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ඕස්ටේ්‍රලියාව සමත් වූ අතර ලකුණු 36-13 ක් ලෙස ආර්ජන්ටිනාව පරාජය කිරීමට නවසීලන්තය සමත් විය. කෙසේ වුවත් මෙම තරගාවලිය තුළ තවමත් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එකිනෙකාට එරෙහිව තරග වැදී නොමැත. තරගාවලියේ 5 වැනි සහ 6 වැනි සතිවලදී නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවත්, ඕස්ටේ්‍රලියාවට එරෙහිව ආර්ජන්ටිනාවත් දෙවර බැගින් තරග වැදීමට නියමිතය. එම තරගවල ප්‍රතිඵල අනුව තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය වනු ඇත. 

සහභාගි වූ තරග 4 න් එක් තරගයක් ප්‍රසාද ලකුණ සහිතවද, තවත් තරගයක් ප්‍රසාද ලකුණ රහිතවද ජයගැනීමට සමත්ව සිටින ඕස්ටේ්‍රලියාව මේ වන විට ලකුණු 9 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර සහභාගි වූ තරග 4 ම පරාජයට පත්වී ඇති ආර්ජන්ටිනාව එහි සිවුවැනි ස්ථානයේ රැදී සිටියි. 

-036 


අදහස් (0)

නවසීලන්තය යළිත් ලෝකයේ අංක 1 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.